කොෆී අනන් සමුගනියි

අභාවප්‍රාප්ත එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆි අනන් මහතාට ගෞරව දැක්වීම සඳහා ලෝක නායකයෝ එක්වෙති.

1938 අප්‍රේල් 08දා ඝානා ජාතිකයෙකු ලෙස උපත ලැබූ කොෆි අනන් අවුරුදු 80ක් ආයු වළඳා සිය දිවියෙන් සමුගැනීම සම්බන්ධයෙන් ප්‍රථම ශෝක පණිවුඩය නිකුත් කරමින් වත්මන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරෙස් පවසන්නේ ඔහු යහපත සඳහා ගාමක බලවේගයක් වූ බවය.

එමෙන්ම, රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් මෙම ශෝකී අවස්ථාවේදී අනන් හඳුන්වා ඇත්තේ විශිෂ්ට මිනිසෙකු ලෙසිනි. අනන් සැමදා රුසියානුවන්ගේ හදවත් තුළ රැඳෙනු ඇති බව ඔහු අවධාරණය කරයි.

හිටපු ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා පෙන්වා දෙන්නේ අනන් සෑමවිටම වඩා යහපත් ලොවක් වෙනුවෙන් පෙනී සිටි බවයි. තමා වෙත එල්ල වූ බාධක ජයගැනීමෙන් පසුවත්, යහපත් ලෝකයක් තැනීමේ ක්‍රියාවලිය ඔහු අත් නොහළ බවද ඔබාම පෙන්වා දෙයි.

ලෝකයට අහිමි වූයේ ශ්‍රේෂ්ඨ අප්‍රිකානු රාජතාන්ත්‍රිකයෙකු පමණක් නොව, ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ මානව හිතවාදියෙකු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මේ ශෝකී අවස්ථාවේදී සිය ශෝකය පළ කර තිබේ.

ඔහු වෙනුවෙන් ශෝක වූවන් අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තේරේසා මේ, නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිඩ් අල් හුසේන් කුමරු, හිටපු ඇමෙරිකානු ජනපතිවරයෙකු වූ ජෝර්ජ් ඩබ්. බුෂ් ආදීහු වෙති.

එමෙන්ම, මෙම පුවත ඇසීමෙන් ඝානා රාජ්‍යයේ වත්මන් ජනපති නානා අකූෆෝ-අඩ්ඩෝ විසින් ඔහු වෙනුවෙන් සතියක ශෝක කාලයක් එරට තුළ ප්‍රකශයට පත් කරමින් කියා සිටියේ කොෆි අනන් හඳුන්වනු ලැබුවේ ඝානාවේ ශ්‍රේෂ්ඨ පුත්‍රයෙකු ලෙසිනි.

වර්ෂ 1997 සිට 2006 දක්වා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරය හෙබවූ අනන් මෙම තනතුරට පත් එකම කළු අප්‍රිකානුවාද වීම විශේෂත්වයකි. සිය ධුර කාලය තුළ එතරම් චෝදනාවන්ට ලක්නොවූ ප්‍රධානියෙකු ලෙසද සැලකෙන අනන් වෙත තරමක් හෝ ඇඟිල්ල දිගු වූයේ 2003 දී ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය එක්ව සිදුකළ ඉරාක ආක්‍රමණය සම්බන්ධයෙනි. කෙසේ වෙතත්, එය නීතිවිරෝධී අතපෙවීමක් බව ඔහු ප්‍රසිද්ධියේ සඳහන් කර තිබුණි. නමුත්, ඔහුගේ මානුෂීය මෙහෙවර වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයෙන් පවා කොෆි අනන් පිදුම් ලැබීය.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරයෙන් සමුගැනීමත් සමග සිරියාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු ලෙස කටයුතු කළ අනන්, සිරියානු අර්බුදය සඳහා ස්ථිරසාර විසඳුමක් සෙවීම සඳහා ප්‍රධානත්වය ගත් පුද්ගලයෙකු විය.

වසර කිහිපයක් පුරා ස්විස්ටර්ලන්තයේ, ජිනීවා නුවර ජීවත් වූ කොෆි අනන්, අවසන් කාලයේදී තරමක් රෝගාතුරව සිට ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව, ස්විස්ටර්ලන්තයේ, බර්න් හි රෝහලකදී ඔහු ඊයේ (18දා) සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කළ බව කොෆි අනන් පදනම පවසයි. ඔහුගේ අවසන් දින කිහිපයේම බිරිඳ නැනී සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා ඔහු අසලින්ම සිටි බවද එම පදනම වැඩිදුරටත් සඳහන් කරයි.

සිය ජීවිත කාලය පුරා සාධාරණ හා වඩාත් සාමකාමී ලෝකයක් වෙනුවෙන් අතිශයින්ම ඇපකැප වූ ජාත්‍යන්තරිකයෙකු ලෙස කොෆි අන්නන් හැඳින්වීමට එම පදනම විශේෂ නිවේදනයක්ද නිකුත් කර තිබුණි.