ත්‍රස්තවාදය පාලනයට පාකිස්තානය අපොහොසත් නිසා ආධාර කැපෙයි

පාකිස්තානය තුළ ක්‍රියාත්මක ත්‍රස්ත කණ්ඩායම්වලට එරෙහිව පියවර ගැනීමට ඉස්ලාමාබාද් පාලනය අපොහොසත්වීම තුළ එරටට ලබාදීමට නියමිතව තිබූ ඇ.ඩො.මිලියන 300ක ආධාර කපා හැරි බව පෙන්ටගනය පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බිලියන ගණනක් ඩොලර් ලබාගනිමින් පාකිස්තානය ඇමෙරිකාවට වංචාවක් සිදුකරන බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද මීට පෙර චෝදනා කර තිබුණි.

ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනයේ ප්‍රකාශක ලුතිනන් කර්නල් කෝනේ ෆවුල්ක්නර් පෙන්වා දුන්නේ මෙම මුදල් වෙනත් හදිසි අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට ඇමෙරිකානු හමුදා තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම පියවර ඇමෙරිකානු කොංග්‍රසය විසින් අනුමත කළ යුතු අතර, මෙය ජනවාරි මාසයේදී සිදුකළ පුළුල් ආධාර කපාහැරීමේ ක්‍රියාවලියේ කොටසක් බව කියැවෙයි. එහිදී, පාකිස්තානය වෙත සිදුකරන සියලුම ආරක්ෂක ආධාර කපා හරින බව නිවේදනය කෙරිණි.

ඇමෙරිකාවේ සමීප මිතුරෙකු ලෙස පාකිස්තානය කටයුතු කළත්, මෑත කාලයේදී පාකිස්තානය වෙත ඇමෙරිකාවේ ඇඟිල්ල සෘජුවම දිගු කරන්නට වූයේ එරට ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධාන වන ඇෆ්ගන් තලේබාන් සහ හක්කානි ආදී කණ්ඩායම් පාලනයට ඔවුන් අපොහොසත් වූ බව පවසමිනි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ පාකිස්තානයේ සංචාරයක නිතර වෙමින් එරට නව අගමැති ඉම්රාන් ඛාන් මුණ ගැසීමට දින කිහිපයක් තිබියදී මෙම නිවේදනය සිදුකර තිබීමද විශේෂත්වයකි.