සාමකාමීව උද්ඝෝෂණයේ නිරත වන අයට පොලිසියේ බලපෑමක් නෑ

ඒකාබද්ධ විපක්ෂය අද (5) පවත්වන උද්ඝෝෂණය හෝ විරෝධතා ව්‍යාපාරය නැවැත්වීමට. පොලිසිය කිසිදු ඉල්ලීමක් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැති බව රාජ්‍ය පරිපාලන, කලමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඪයේ(4) පැවසීය.

සාමකාමීව ඕනෑම කෙනෙකුට උද්ඝෝෂණය, විරෝධතා, රැස්වීම් පැවැත්වීමට යහපාලන රජය අවසර ලබා දී ඇති බවත් සාමාකාමීව උද්ඝෝෂණ පවත්වන්නේ නම් ඒ සඳහා පොලිසියේ කිසිදු බලපෑමක් ඇති නොවන බවද හෙතෙම කියා සිටියේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඊයේ (4) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙම උද්ඝෝෂණ නැවැත්වීමට පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කර ඇති බවට ඇතැම් මාධ්‍ය ඇතුළු නොයෙක් ප‍්‍රචාර සිදුවන බවත් එය වැරදි ප‍්‍රචාරයක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ නගරයේ රජයේ ආයතන වලට ඇතුළු වී අලාභහානි සිදුකරන බවට ලැබුණු තොරතුරු අනුව පොලිසිය එම ආයතනය ආරක්ෂා කිරීමට අවශ්‍ය කි‍්‍රයා මාර්ග ගැනීමට අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටියද මෙම උද්ඝෝෂණය නැවැත්වීමට කිසිදු අධිකරණය නියෝගයක් ඉල්ලා නොසිටි බවද අමාත්‍යවරයා කියා සිටියේය.

රජයේ ස්ථාන , පොදු ස්ථාන , ආරක්ෂා කිරීම පොලිසියේ කාර්ය බාරය බවත් රජයේ කටයුතු වලට අවහිරයක් සිදුනොකර සාමකාමීව උද්ඝෝෂණයේ නිරත වන පිරිසට පොලිසියේ කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ඒ සාමාකාමීව මෙම උද්ඝෝෂණ පැවැත්වීම පිරිස වගබලා ගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එහිදී අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සාමකාමී උද්ඝෝෂණ , සාමකාමී පෙලපාළි පැවැත්වීමේ අයිතිය ශි‍්‍ර ලාකා පොලිසිය කිසිසේත් අවහිර කිරීමක් ,සීමා කිරීමක් සිදු නොකරන බවයි.

පොලිසිය එම නිදහස තහවුරු කරන බවත් සාමකාමී උද්ඝෝෂණ වලට පොලිසියේ උපරිම සහය ලබා දෙන බවත් අජිත් රෝහණ මහතා කියා සිටියේය.

අන් අයගේ අතියිවාසිකම් කඩවන පරිදි සාමකාමී උද්ඝෝෂණ පැවැත්වෙන්නේ නම් මහමාර්ගයේ අවහිරතා, රජයේ හා පොදු දේපළ වලට හානි සිදුවන්නේ නම් , කොළඹ නගරගේ රෝගීන් රැගෙන එන ගිලන් රථ, පාසල් දරුවන්ගේ එදිදෙනා කටයුතු වලට බාධා එල්ල වන්නේනම්, එවැනි අවස්ථාවක පොලිසියට නීතියේ විදිවිධාන අනුව කි‍්‍රයා කිරීමට සිදුවන බවද ඒ මහතා පැවසීය.

පොලිස් ආඥා පනතේ නියමයන් පටහැනිව කිසියම් අයකු ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කරන්නේනම් , පෙළපාලියක් , පෙරහැරයක් පවත්වන්නේ නම් ඒ සඳහා ගතයුතු කි‍්‍රයා මාර්ග පොලිස් ආඥාපනතේ සඳහන් වන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

පොලිසිය මෙම උද්ඝෝෂණය නැවැත්වීමට අධිකරණයෙන් කිසිදු ඉල්ලීමක් සිදු නොකළ බවත් එවැනි විශේෂ ස්ථාන වලට යම් සිදුවීමක් සිදු වුවහොත් එය වැලැක්වීම සඳහා ඇතැම් පොලිස් ස්ථාන මගින් අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටි බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, කලමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ද සහභාගි විය.