රජීව් ගාන්ධි ඝාතකයින් ගැන තමිල්නාඩුවෙන් ආන්දෝළනාත්මක තීන්දුවක්

ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වූ රජිව් ගාන්ධිගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී සිරදඬුවම් විඳින හත්දෙනා සම්බන්ධයෙන් තමිල්නාඩු කැබිනට් මණ්ඩලය ආන්දෝලනාත්මක තීන්දුවක් ගෙන තිබෙනවා.

ඒ, ඔවුන් නිදහස් කිරීම සඳහා නිර්දේශ කරමින්.

අදාළ නිර්දේශය තමිල්නාඩු කැබිනට් මණ්ඩලය විසින් ආණ්ඩුකාරවරයාට ලබාදීමට නියමිතයි. මෙම තීරණය ගෙන ඇත්තේ තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය කේ. පලනි ස්වාමිගේ නායකත්වයෙන් ඊයේ (09) පැවති ප‍්‍රාන්ත කැබිනට් මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවකදීයි.

ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍ය රජිව් ගාන්ධි 1991 වසරේ මැයි මස 21 වැනිදා ඝාතනයට ලක්වූයේ දේශපාලන රැළියක් අතරතුරදීයි. ඒ, එල්. ටී. ටී. ඊ. මරාගෙන මැරෙන කාන්තාවකගේ බෝම්බ ප‍්‍රහාරයකට ලක්වීමෙන්. ඇයට ආධාර අනුබල දුන් බවටයි සෙසු 07 දෙනා හට චෝදනා එල්ල වී ඇත්තේ. නාලනි ශ‍්‍රී හරන් ඇතුළු 07 දෙනා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වසර 27ක් තිස්සේ බන්ධනාගාරගතව පසුවනවා.

2014 වසරේදී තමිල්නාඩු හිටපු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ද මෙම වරදකරුවන් 07 දෙනා නිදහස් කිරීමට අදාළව යෝජනාවක් ගෙන ආ නමුත් එය ක‍්‍රියාත්මක කිරීමට හැකි වුයේ නැහැ. එවකට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ වරදකරුවන් වූ කිසිවෙකුත් නිදහස් කිරීමට ප‍්‍රාන්ත රජයකට තීරණය කළ නොහැකි බවයි.

2008 වසරේදී හිටපු අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ පුත‍්‍රයා වන රාහුල් ගාන්ධි පැවසුවේ තමා සහ තම සහෝදරිය වන ප‍්‍රියංකා ගාන්ධි සිය පියාගේ ඝාතකයින්ට සමාව දෙන බවයි. වරෙක ප‍්‍රියංකා ගාන්ධි සිර දඬුවම් විඳින නාලනී ශ‍්‍රී හරන් මුණගැසීම සඳහා බන්ධනාගාරයට ද ගොස් තිබුණා.

රජිව් ගාන්ධි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නාලනී ඇතුළු පිරිසට මරණ දඬුවම නියම වූ අතර 2014 වසරේදී ඉදිරිපත් කළ අභියාචනයකින් පසුව ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.