කිම් ජොන්ග්-උන් තවත් හමුවකට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කරයි

උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත තවත් ඓතිහාසික හමුවක් සඳහා නිල වශයෙන් ආරාධනා කර ඇති බව ධවල මන්දිරය පවසයි.

ඒ අනුව, මෙම නව හමුව සඳහා දින හා ස්ථාන වෙන්කර ගැනීම සම්බන්ධයෙන් ඔවුන් සූදානම් වන බවද ධවල මන්දිරය පවසා තිබේ.

ධවල මන්දිර මධ්‍ය ප්‍රකාශිකා සාරාහ් සැන්ඩර්ස් පවසා සිටියේ උතුරු කොරියාව න්‍යෂ්ටිකහරණය සම්බන්ධයෙන් දක්වන උනන්දුව මේ උණුසුම් ආරාධනයෙන් පෙන්නුම් කෙරෙන බවයි.

පසුගිය ජුනි මාසයේ සිංගප්පූරුවේදී පැවති හමුවෙන් අනතුරුව දෙරට අතර පැවති එකඟතාවන්ගේ යම් බිඳ වැටීමක් පවතින බවට විවිධ අදහස් මතුවිය.

ඒ අනුව, කිම් ජොන්ග්-උන් විසින් ට්‍රම්ප් වෙත එවා ඇති ලිපියේ මූලික අභිප්‍රාය නව හමුවක් වෙනුවෙන් දිනයන් හා වේලාවන් වෙන්කර ගැනීම බවත්, එහිදී, ඔවුන්ගේ සාකච්ඡා වටයේ දිඝුවක් අපේක්ෂා කරන බවත් සැන්ඩර්ස් වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත්, රාජ්‍ය නායකයන් දෙපළ අතර මීළඟ හමුව පැවැත්වෙන දිනයක් හෝ ස්ථානයක් පිළිබඳව ධවල මන්දිර ප්‍රකාශිකාව කිසිදු ඉඟියක් පළ නොකළාය.