ඇෆ්ගනිස්තාන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 68ක් මරුට

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙය ආසන්න කාලයේදී සිදුවූ අතිශය ම්ලේච්ඡතම ප්‍රහාරයක් බව එරට මාධ්‍ය පවසයි.

පාකිස්තාන දේශසීමාවට ආසන්න නන්ගාර්හාර් පළාතේ පොලිස් ප්‍රධානියාට එරෙහිව විශාල ජනකායක් එකතුව විරෝධතාවක් පවත්වමින් සිටි අවස්ථාවේදී මෙම මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණ ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම ප්‍රහාරයෙන් තවත් 165කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, ප්‍රදේශයේ රෝහල් තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව ඇති බවද සඳහන් වෙයි.

ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර, මේ මැතිවරණ උණුසුම සමග පසුගිය කාලය පුරා ඇෆ්ගනිස්තානය බෝම්බ ප්‍රහාර රැසකට මුහුණ දෙනු ලැබීය.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් භාරගෙන නොතිබුණද, මෙම පළාත තුළ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් සක්‍රීයව කටයුතු කරන බව ආරක්ෂක අංශ පවසයි.

මෙම පළාත තුළ මීට දින කිහිපයකට පෙර පාසලක් අසල සිදුවූ බෝම්බ ප්‍රහාර ද්විත්වයකින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලැබීය.