20ට එරෙහි වෙන්නැයි අභයතිස්ස හිමියෝ මන්ත්‍රීන්ගෙන් ඉල්ලති

විසිවැනි සංශෝධනය සම්මත කරගන්නට උත්සාහ කරන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය නමැති පුහු සද්දය. මැද්දේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.

13 බලාත්මක කරලා බෙදුම්වාදීන්ට අවශ්‍ය දේ දෙන්න ව්‍යවස්ථා සංශෝධනය කරන්න ගියොත් ඒක කරන්න නොලැබෙන නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නැයි ව්‍යාජ සටන් පාට හදන්නට පටන්ගෙන ඇතැයි ද අභයතිස්ස හිමියෝ කීහ.

ඡන්දයෙන් පත් කිරීම වෙනුවට ජනාධිපති පත්කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරීමට යෝජනා වී ඇති මෙම සංශෝධනය ගෙන එන්නට ඇති සියලු ඉඩ අහුරාලිය යුතු යැයි ද උන්වහන්සේ පැවසූහ.

මේ සංශෝධනයට විරුද්ධ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට එළියට බහින්නැයි ජනතා නියෝජිතයන්ට අභියෝග කළ උන්වහන්සේ එසේ එන ජනතා නියෝජිතයන් මල් මාලා දමා පිළිගන්නට ජනතාව සුදානම් යැයි ද පැවැසූහ.

අභයතිස්ස හිමියෝ මේ අදහස් පළ කළේ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩල ශ‍්‍රවණාගාරයේ ඊයේ (13) පැවැති ජාතික විද්වත් භික්ෂු සංසදයේ සමනේසනා කතිකාවේ පළමු සැසියේ දී අදහස් දක්විමිනි.