දූෂණ විරෝධී බළකායේ හෙළිදරව්ව ගැන වහාම පරීක්ෂණ

ත්‍රස්ත විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සිදුකළ බව කියන ප්‍රකාශයක්. සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර තිබේ.

දූෂණ විරෝධී බළකාය පෙරේදා (12දා) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග සිදුකළ බව කියන දුරකථන සංවාද හඬ පටයක්ද දූෂණ විරෝධී බළකාය ප්‍රසිද්ධියට පත් කළේය.
මේ පිළිබඳ සිදුකරන පොලිස් පරීක්ෂණ අතරතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් සහ ප්‍රකාශ සිදුකළ පිරිස්වලින් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.