ගොඩකොග්ගල්ල ප්‍රදේශය චීන ආයෝජන කලාපයකට පවරයිද?

අම්බලන්තොට රිදියගම ගොඩකොග්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් එම ප්‍රදේශයෙන් ඉවත් කර , එය චීන ආයෝජන කලාපයකට පවරා දීමට රජය සූදානම් වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

ඊයේ (22) විරෝධතාවක් පවත්වමින් ඔවුන් කියා සිටියේ එම තීරණය හේතුවෙන් තමන්ට අර්බුද රැසකට මුහුණදීමට සිදුවන බවයි.

පරම්පරා ගණනාවක සිට මෙහි ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය වන්නේ ගොවිතැන හා මිරිදිය ධීවර කර්මාන්තයයි.

එහෙත් රජය හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ඉදි කිරීමට සූදානම්වන චීන ආයෝජන කලාපයට සිය ගම්මානයේ ඉඩම් පවරාගැනීමේ සැලැස්මක් හේතුවෙන් අර්බුද රැසකට මුහුණ දීමට සිදු වන බව ප්‍රදේශවාසීන් අද විරෝධතාවක් පවත්වමින් කියා සිටියාය.

මෙලෙස නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් එච්.තිලකවර්ධන මහතාගෙන් විමසීය.

ඔහු සඳහන් ක‍ළේ අදාල අයෝජන ව්‍යාපෘතියට ප්‍රදේශය ඇතුළත් කරගැනෙන්නේද ? නැද්ද ? යන්න පිළිබඳව තීරණයට පෙර ප්‍රදේශය පිළිබඳව දත්ත වාර්තාවක් පමණක් රජයට ඉදිරිපත් කර ඇති බවයි.