ජනපති සහ අගමැති සමග සාකච්ඡාවකට විපක්ෂ නායක සූදානම් වෙයි

උතුරු නැගෙනහිර අර්බුදයට රජය විසින් දේශපාලන විසදුමක් ලබා දෙන ආකාරයක් තවමත් පෙනෙන්නට නැති. නමුත් දෙමළ ජාතික සන්ධානය ඒ දෙස ඉවසීමෙන් යුතුව බලාසිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පවසනවා.

ශ්‍රී ලංකාවේ සිටින ජපන් තානාපතිවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පෙන්වා දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂනායක කාර්යලයේදී ශ්‍රී ලංකාවේ සිටින ජපන් තානාපතිවරයා මෙලෙස ආර්.සම්බන්ධන් හමු වී තිබෙනවා.

මෙම හමුව පැයක පමණ කාලයක් පැවති අතර එහිදී වැඩි වශයෙන් අවධානයට යොමු වී ඇත්තේ උතුරු නැගෙනහිර දැනට පවතින ගැටළු සම්බන්ධයෙන් බවද සඳහන්.

මේ සම්බන්ධන් ආර්.සම්බන්ධන් ජපන් තානාපතිවරයාට පවසා ඇත්තේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා මේ දිනවල රජය සමග සාකච්ඡා කිරීමට තමන් සූදානමින් සිටින බවයි.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයෙන් පසුව ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් එහිදී උතුරු නැගෙනහිර අර්බුදයට විසදුමක් සෙවීම සඳහා රජය විසින් ගන්නා බවට පොරොන්දු වූ ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරණ බවද සම්බන්ධන් පවසා තිබෙනවා.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් මෙවර ගනු ලබන තීන්දු තීරණ දෙමළ ජාතික සන්ධානයට මේ අවස්ථාවේදී ඉතාම වැදගත් නිසා ඒ පිළිබදව අවධානයෙන් සිට එම තීරණ ඔස්සේ රජය සමග සාකච්ඡා කිරීම වඩාත් පලදායි වන බව තමන් විශ්වාස කරණ බවද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.