LTTE සංවිධානයට මුදල් සැපයූ අය ගැනත් පරීක්ෂණ කළ යුතුයි

රජයේ හමුදාවන්ට එරෙහි වගවීමේ ක්‍රියාවලිය ඉල්ලා සිටින ජගත් මානව හිමිකම් කවුන්සලය එල්.ටී.ටී.ඊ යට මුදල් සැපයූ පාර්ශව සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදුකළ යුකු බව ශ්‍රී ලාංකික එකමුතුව පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසි වාරයට සමගාමීව පෙරේදා පැවති සමාන්තර සැසි වාරයකදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ පාර්ශ්ව රැසකින් අදහස් පළ විය.

එහිදී අදහස් දැක්වූ ඉන්දියාවේ බැංගලෝර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පෝල් නියුමන් මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“දෙමළ ජනතාව ඉන්නේ මිනීමරු ආරක්ෂක හමුදාවක් යටතේ.හමුදා බල ඇණි 19න් 16 ක්ම ඉන්නේ උතුරේ සහ නැගෙනහිරයි. උතුරේ සහ නැගෙනහිර ආරක්ෂක හමුදාව සහ සිවිල් ජනතාව අතර අනුපාතය 1 ට 5 ක්.
ආරක්ෂක හමුදා යුදමය නොවන කටයුතු වල යොමු වෙලා තියෙනවා.ඔවුන් විශාල ප්‍රමාණයක් ඉදිකිරීම් වල නිරත වනවා.සංචාරක නිකේතන සහ ආපන ශාලා ආදිය.උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට කෘෂිකර්ම කටයුතු සහ ධීවර කටයුතු කරන්න බෑ මේ හේතුවෙන්.ශ්‍රී ලංකා හමුදාව ඉක්මනින්ම සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කළ යුතුයි.ඒ වගේම ශ්‍රී ලංකා රජය සිවිල් ජනතාවට සාමාන්‍ය පරිදි ජීවත් වීම සඳහා ඉක්මනින්ම උතුරේ යුද සේනාංක ඉවත් කළ යුතුයි.”

එසේම අතුරුදන් අයෙකුගේ මවක් වන ලීලාදේවි ආනන්දරාජා මෙසේ පැවසීය.

“මම පෙනී සිටින්නේ උතුරු නැගෙනහිර අතුරුදන් වුණු අයෙකුගේ මවක් විදිහට.මම අතුරුදන් වුණු අයගේ තොරතුරු ගන්න දින 580 ක් උද්ඝෝෂණය කළා.මම බලාගෙන ඉන්නේ 2009 යුද්ධයේ අවසන් සමයේ ඕමන්ත මුරපොලේදී ආරක්ෂක හමුදාවට භාර වුණු මගේ පුතා එනකම්.2009 දී යටත් වුණු සහ භාර වුණු ඇතැම් අය අද වනවිට අතුරුදන් වී තිබෙනවා.”

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට එරෙහිව එල්ල කරන ලද මෙම චෝදනා වලට ශ්‍රී ලාංකික එකමුතුව ප්‍රතිචාර දැක්විය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලාංකික එකමුතුවේ සාමාජික මදුෂාන් හරීන්ද්‍ර මෙසේ පැවසීය.

“ආරක්ෂක හමුදාව යුද සමයේදී සිවිල් ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කළා.ලොව පුරා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා. නමුත් ඒවා බලගන්වන ආයතන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට අනුකූලව කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ 30/1 යෝජනාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට අනුකූල නැහැ. හේතුව එහි නිර්දේශ 20/1 පමණයි එල්.ටී.ටී.ඊ සංවිධානය ගැන කතා කරන්නේ. ඇයි මේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ. ආරක්ෂක හමුදාවට එරෙහි වග වීමේ ක්‍රියාවලිය ඉල්ලා සිටිය ද එල්.ටී.ටී.ඊ සංවිධානය මුදල් සපයන පාර්ශ්ව ගැන පරීක්ෂණ කරන්නේ නැත්තේ ඇයි. නැවත ත්‍රස්තවාදීන් හිස එසවීම වැළැක්වීමට නම් ජගත් මානව හිමිකම් කවුන්සිලය ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් කිරීම ඉතා වැදගත්. “