ගාල්ලත් උපාය මාර්ගික නගරයක් කරනවා

ශ්‍රි ලංකිවේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය, වෘත්තීයවේදීත්වය සහ සාහිත්‍ය ක්‍ෂෙත‍්‍රයේ කොඳු නාරටිය බවට පත්ව. තිබෙන්නේ ගාල්ල ප‍්‍රදේශයෙන් පැවත එන පිරිස බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රටට මහා මෙහෙවරක් සිදුකළ ජාතික අරගලයේ විශිෂ්ට ගනයේ ආගමික නායකයින්, ජාතික නායකයින් වගේම පුරාවිද්‍යාව පිළිබඳව මෙරට විප්ලවීය පරිවර්ථනයක් සිදුකල බොහෝ දෙනෙක් ගාල්ල අවට ප‍්‍රදේශවලින් බිහි වු පුද්ගලයන් බවද ඇමති චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඓතිහාසික ගාලූ පුරවරය ඇතුළු සමස්ථ රටෙහි සංවර්ධන සැලසුම පිළිබඳව විද්වතුන්, රාජ්‍ය සේවකයින් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ “මෙගා මයින්ඩ්ස් ” වැඩසටහනට සහභාගී වෙමිනි.

මෙම වැඩසටහන ගාල්ල කොටුව තුළදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මේ වන විටත් තම අමාත්‍යාංශය මගින් ගාල්ල උපාය මාර්ගික නගරයක් ලෙස සලකුණු කරගෙන ලෝක බැංකුව මගින් හඳුනාගත් ව්‍යාපෘති ගණනාවක් දියත් කර තිබෙන බවයි.

එහි ප‍්‍රධාන අරමුණ වන්නේ ජල කළමනාකරණය බවත් එයට හේතුවී ඇත්තේ ගාල්ල මුහුදට තරමක් පහතින් පිහිටා තිබෙන නිසා බවත් අමාත්‍යවරයා පැවසීය.

ගාල්ලේ ජල ගැලීම් පාලනය කිරීමට ඇල මාර්ග පද්ධති, ජල මාර්ග පද්ධති විධිමත් කිරීම එම ව්‍යාපෘතිය යටතේ සිදුවන බවද ඔහු පවසයි.

එමෙන්ම ගාලූ නගරයේ සංචාරක පුරවරයක් වීමට අවශ්‍ය කරන විධිමත් භූ දර්ශනයක්, අලංකාර නගරයක් ඇතිකර ගැනීම සඳහා ද කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.

ගාල්ල සඳහා නාගරික සංවර්ධන සැලසුම් ගණනාවක් ඉදිරිපත් කර තිබෙන අතර විශේෂයෙන්ම එහි ප‍්‍රවාහන තදබදය විසඳීම සඳහා අතුරු මාර්ග සංවර්ධනය, අධිවේගී මාර්ගයත් සමඟ තිබෙන සබැඳියාව වැඩිදයුණු කිරීම ගාලූ මෙන්ම නගරයේ විවිධ සේවාවන් ලබාගැනීම මහජනයාට පහසු කිරීම ද එහි අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.