තාත්තාගේ කරදරයෙන් බේරෙන්න තවත් කරදරයක පැටළුණ පුංචි දැරියක්

එකලොස් හැවිරිදි දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර නිවසක රඳවාගෙන සිටි 46 හැවිරිදි පුද්ගලයෙක් ලුනුගල පත්තිනි කූඹුර ගම්මානයේ දී අත්අඩංගුවටව ගත් බව ලුනුගල පොලීසිය පවසයි.

මෙම දැරියගේ මව මීට වසර 10 කට පෙර වෙනත් සැමියෙක් සමඟ ගිය නිසාත් වැඩිමල් දියණිය විවාහ වි වෙනත් ප්‍රදේශයක ජිවත්වන නිසාත් තමා සහ මෙම දියණිය පමණක් නිවසේ සිටියදි ඉකුත් 23 වනදා සවස 2.00 ට පමණ දැරිය අතුරුදන් වූ බව ඇගේ පියා විසින් ඊයේ(24) පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය පවසයි.

විමර්ශන සිදුකිරීමේදී පියා සමඟ එකට මත්පැන් ‍පානය කරන මිතුරෙක් බව කියන මෙම පුද්ගලයා සමඟ දැරිය හිතවත් වී ඇති බවට තොරතුරු අනාවරණය වු බව පොලිසිය සදහන් කරයි.

සැකකරුගේ නිවසට ගොස් විමර්ශන සිදුකිරීමේදී ඉතා කුඩා එම නිවසේ දැරියගේ හා සැකකරුගේ සෙරෙප්පු කූට්ටම් දෙකක් හා සරමක් හමුවු නමුත් මොවුන් දෙදෙනා පිළිබදව තොරතුරක් නොලැබුන බවත්, සැකකරු හා දැරිය අතුරුදන්ව ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

ඉන්පසු සැකකරුගේ ඥාති නිවාස පරික්ෂා කිරීමේ මෙහෙයුමක් දියත් කළ අතර, හයවැනි වරට සෝදිසි කල සැකකරුගේ පුංචි අම්මාගේ නිවසේ සිටියදි දැරිය හා සැකකරු හමුවු බවත් පොලීසිය සඳහන් කරයි.

දැරිය පොලිසියට පවසා ඇත්තේ පියා හිරිහැර කරන නිසා සැකකරු සමඟ ගිය බව යැයිද පොලීසිය සඳහන් කරයි.

දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා ලුනුගල දිසා රෝහලට හරහා බදුල්ල මහ රෝහලට යවා තිබේ.

බාලවයස්කාර දැරිය නින්‍යානූකූල බාරකාරත්වයෙන් අපහරණය කිරීම දැනට සැකකරුට එල්ලවී ඇති චෝදනාව වන අතර දැරියගේ වෛද්‍ය පරික්ෂණයේ හෙලිවන කරුණු අනුව ඉදිරි චෝදනා ගොනු කරන බව පොලීසිය පවසයි.

ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස් පති ජගත් පළිහක්කාර හා බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත ලුනුගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.ඒ.ඩී. බාලසූරිය මහතාගේ මෙහෙයවීම යටතේ ලුනුගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.