බෙලිහුල්ඔය සිට ලෝකාන්තයට කේබල් කාර් ව්‍යාපෘතියක්

සමනලවැව ජලාශය ආසන්නයේ බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ඩුබායි රජයේ ආධාර ඇති නුදුරු කාලය තුල අරඹන බව සබරගමු පළාත් ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මහත්මිය සබරගමුවේ උසම ගම්මානය වූ නැග්රැක් ගම්මානයේ දී ප‍්‍රකාශ කළාය.

ලෝකාන්තයේ පාමුල පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නන්පෙරියල් වතු යායයි. නන්පෙරියල් වත්ත හරහා නැග්රැක් ගම්මානයට ගොස් එතැන් සිට ලෝකාන්තයට පිවිසීමට මාර්ගයක් ද පිහිටා ඇත. එය ඉතා දුෂ්කර එකකි.

නැග්රැක් දක්වා වාහනයකින් එනවිට නන්පෙරියල් තේ කර්මාන්ත ශාලව අසල වතු සමාගම විසින් බැරියර් දමා අවසර ගෙන යායුතු බවට තහංචි දමා තිබේ. එහෙත් සමහර අවස්ථාවල වතු සමාගමේ මෙම බැරියර් එකෙන් ඇතුලූවීමට අවසර නොදෙයි. මෙම මාර්ගය සබරගමු පළාත් සභාව සහ ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභාව මගින් පාලනය වන නිසා වහාම එම බැරියර ඉවත් කර ජනතාවට නිදහසේ ගමන් කරන්න අවස්ථාව සලසා දෙන ලෙස වතු සමාගමේ නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

නැග්රැක් සංචාරක බංගලාවේ දී අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මහත්මිය මෙසේ ද කීවාය.

‘බෙලිහුල්ඔය ප‍්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණීය ස්ථානයක්. ලෝකාන්තයට මේ පැත්තෙන් යා හැකියි. සබරගමු පළාත් සභාව ඩුබායි රාජ්‍ය සමග සාකච්ඡා කර තිබෙනවා බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ආරම්භ කිරිමට. එමගින් සංචාරක කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කළ හැකියි.

සබරගමු විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ ආශිර්වාදය එයට තියනවා. ඊට සමගාමීව සමනල වැවේ සංචාරක බෝට්ටු සේවයක් ද අරඹනවා. බෙලිහුල්ඔයට එන දෙස් විදෙස් සංචාරකයන්ට ලෝකාන්තයත් නරඹලා බෝට්ටු සවාරියකුත් ගිහං පාරිසරික රසවින්දනයක් වගේම සංචාරයක නිරත වන්නට ඉන් අවස්ථාව ලැබෙනවා.

මම මේ ව්‍යාපෘතිය ගැන අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නාම එතුමා කිව්වේ ශ‍්‍රීපාදස්ථානයට නැතුව වෙන ඕනෑ තැනකට කේබල් කාර් ව්‍යාපෘති හ`දුන්වලා දෙන්න කියලා. ඒ නිසා මම ආණ්ඩුකාර ධූරයේ ඉන්න කාලය තුල මේ කෙබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරිමට ගතහැකි හැම පියවරකම ගන්නවා‘ යැයි ද ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසුවාය.