රුපියල 170 වෙන් තාවකාලිකව ස්ථාවර වෙයි

රුපිය‍ලේ අගය අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා ඊයේ (25) දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 60 ක් වෙළෙඳ ‍පොළට නිකුත් කළ බව වාර්තා විය.

මේ අනුව ඉකුත් සිකුරාදා ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.65 ක් වුවද ඊයේ (25) දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.39 ක් ලෙස රඳවා ගැනීමට සමත්ව තිබුණි.

එසේ වුවද දිගින් දිගටම ඩොලරයේ අගය ඉහළ යාම වළක්වා රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස දිගින් දිගටම වෙළෙඳ ‍පොළට නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව විදේශ විනිමය සංචිත ප්‍රමාණවත් තරම් නොතිබිම නිසා වෙළෙඳ ‍පොළට ඩොලර් මුදා හැර රුපියල අවප්‍රමාණය කිරීමට උත්සාහ දැරීම ඉතාම තාවකාලික විසඳුමක් බව ආර්ථික විශ්‍ලේෂකයන් පෙන්වා දෙයි. මෙම ප්‍රශ්නයේදී තාවකාලික පැලැස්තර විසඳුම් ලබා නොදී ස්ථිර විසඳුමක් සඳහා යොමුවීමට රජය කටයුතු කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

පවතින තත්ත්වය පිළිබඳව ‘ලක්බිම’ ශ්‍රී ලංකා මහ බැංකුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසා සිටියදී ඒ මහතා කීවේ මෙය අසත්‍ය කටකතාවක් බවයි. නිකුත් කළ වාර්තාවකට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 170.39 ක්ද ගැනුම් මිල රුපියල් 166.52 ක්ද විය. ඒ අනුව ඉකුත් සිකුරාදාට

සාපේක්ෂව ඊයේ (25) ඩොලරයේ විකුණුම් මිල ශත 26 කින් අඩුවී තිබිණ.