ඕලන්ද පාලමේ වැඩ කඩිනම් වෙයි

ගාල්ල පැරණි ඕලන්ද පාලමේ පෞරාණිකත්වය ආරක්ෂා වන අයුරින් එහි සංවර්ධන කටයුතු කඩිනමින් සිදුකරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අදාළ පාලම සම්බන්ධයෙන් උද්ගතව තිබූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ගාල්ලේ ඊයේ(25) පැවති සාකච්ඡාවකදී සියලු පාර්ශ්ව එම එකඟතාවයකට පැමිණි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මංතීරූ හතරකින් ඉදිකර ඇති ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ගාල්ල නගරයට සම්බන්ධ වන ස්ථානයේ පැරණි ඕලන්ද ඇලට ඉහළින් 1768 වර්ෂයේ ඉදිකර ඇති බව පැවසෙන පැරණි ඕලන්ද පාලම මෙරට ජනතාව භාවිත කරනු ලබන පැරණිතම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත පාලමකි.

පසුගිය ජුලි මාසයේ සිට ආරම්භ කළ පාලම පුළුල් කිරීමේ කටයුතු හේතුවෙන් එහි පෞරාණික බව මෙන්ම ඓතිහාසික වටිනාකම වියැකි යන බව ගාල්ල නගරයේ ජනතාව පැවසීමත් සමඟ පසුගිය අගෝස්තු 07 වනදා අද දෙරණ ඒ පිළිබඳව රටට කරුණු අනාවරණ කළේය.

එම අනාවරණයෙන් අනතුරුව විෂය බාර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වහාම ඒ පිළිබඳව සොයා බලනලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන් අතර එතෙක් පාලම පුළුල් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කෙරුණි.

මේ අතර පාලම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විෂයභාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ අමාත්‍ය වජිර අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු ආයතන වල නියෝජිතයින්ගේ ද සහභාගීත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණි.