ධීවර ප‍්‍රජාවට ජනපතිගෙන් පොරොන්දුවක්

සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත් වූ ශ‍්‍රී ලාංකික ධීවරයන් සියලු දෙනා. නිදහස් කර ගැනීමට සීෂේල්ස් ජනාධිපතිවරයා සහ තමා අතර පැවති සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස හැකියාව ලැබුණු බව ජනාධිපතිවරයා පවසයි.

එම සාකච්ඡාවල දී පැමිණි එකඟතාව අනුව එම සියලු ධීවරයන් අද දහවල් නිදහස ලැබූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ඊයේ(10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති “මිරිදිය වරුණ 2018” සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමිනි.

ධීවර කර්මාන්තය සහ ධීවර ප‍්‍රජාව මේ රටේ ශක්තිමත් බලවේගයක් බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් දුර්වල කිරීමට රජය කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බවත්, ධීවර කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ඉටු කළ යුතු සෑම වගකීමක් ම නොපිරිහෙළා ඉටු කරන බවත් අවධාරණය කළේය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ධීවර කර්මාන්තය සහ ධීවර ප‍්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් පසුගිය සියලු රජයන්ට වඩා වැඩි මුදලක් වෙන් කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බවයි.

ධීවර ප‍්‍රජාව වෙනුවෙන් කි‍්‍රයාත්මක නිවාස යෝජනා ක‍්‍රමය ඉදිරියේ දී තව තවත් ශක්තිමත් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ග‍්‍රාමීය ධීවර සංවිධාන විසින් මෙහි දී ජනාධිපතිවරයා වෙත විශේෂ සංදේශයක් ද බාර දුන් අතර ජලාශවලට අවශ්‍ය මත්ස්‍ය පැටව් බහාලීම වැඩි කිරීම, ධීවර ආම්පන්න ලබා ගැනීම, ජල ජීවි වගාවන් සඳහා රජයේ ඉඩම් ලබා ගැනීම, ජලාශවල විධිමත් කළමනාකරණය සඳහා නිලධාරින් යෙදවීම, ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම ඇතුළු එම සියලු ඉල්ලීම් කඩිනමින් ඉටු කිරීමට පියවර ගන්නා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා එම ඉල්ලීම් ඉටු කිරීම ඇතුළු කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් වැඩි මුදලක මෙවර අය වැය තුළින් වෙන් කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

සමස්ත මිරිදිය ජීවි හා ජලජීවි වගා ප‍්‍රජාව ඇගැයීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මඟින් මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය සංවිධානය කරනු ලබයි.

ඒ අනුව මෙහි විවිධ අංශයන් යටතේ දක්ෂතා හා කැපී පෙනෙන සංවර්ධනයක් පෙන්වූ ධීවරයන් හා ජලජීවි වගාකරුවන් වෙනුවෙන් සම්මාන පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

ධීවර ප‍්‍රජාව වෙත ධීවර යාත‍්‍රා සහ දැල් ආම්පන්න ප‍්‍රදානය කිරීමට අදාළ හිම්කම් පත‍්‍ර ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.