ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ඉල්ලා ශි‍්‍රලනිප 15 කණ්ඩායමෙන් ජනපතිට ලිපියක්

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඉල්ලා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 15වේ කණ්ඩායම ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. මේවනවිට වත්මන් ආණ්ඩුවට දැඩි ජනතා විරෝධයක් එල්ල වෙමින් පවතින බවත් මේ හේතුවෙන් තවදුරටත් ජාතික ආණ්ඩුව සමග කටයුතු කිරීම සුදුසු නොවන බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ 15වේ කණ්ඩායම මෙම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

එහි ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ ඉකුත් දා පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ මෙම යෝජනාව කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් මෙහිදී ඉල්ලීමක් කළ බවයි.

ඒ අනුව පවතින තත්ත්වය සලකා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරය දරණ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බව 15වේ කණ්ඩායම මෙම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. තමන් කළ මෙම යෝජනාව ලබන 16වනදා පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී අනුමත කර වහාම ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසද 15වේ කණ්ඩායම යොමු කළ මෙම ලිපියේ සඳහන්.

මෙම ලිපිය එදින පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට ඉදිරිපත් කරන්නැයිද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ 15වේ කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.