ඉන්ධන මිල නිසා යහපාලන ඇමැතිවරු හැප්පෙයි

ඉන්ධන මිල අඩු කිරීම හෝ මිල සූත‍්‍රයක් හඳුන්වාදීමට පෙර ඛනිජ තෙල් සංස්ථාව සතු ණය බර සම්බන්ධයෙන් නිසි විශ්ලේෂණයක් සිදු කළ යුතු බව මුදල් අමාත්‍යංශය පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙන්වා දෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මහා භාණ්ඩාගාරයට හිමිවිය යුතු ණය ප‍්‍රමාණය සීඝ‍්‍ර ලෙස වැඩි වී ඇති බවයි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට සීඝ‍්‍ර ලෙස පහත බැස තිබෙනවා. එහි වාසිය මෙරට පාරිභෝගිකයින්ට ලබා දෙන්නැයි පාර්ශ්ව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වුණා. තත්වය එසේ තිබියදී මෙරට ඉන්දන මිල තීරණය කිරීම සම්බන්ධයෙන් මිල සූත‍්‍රයක් හඳුන්වා දීමටද ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ කැබිනට් පති‍්‍රකාවද මේ වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප‍්‍රකාශ කළේ. කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශයේ නිර්දේශ ලැබෙන තුරු එය ප‍්‍රමාද වන බව අමාත්‍යවරයා කියා සිිටියා.

කෙසේ වෙතත් මිළ සූත‍්‍රය හදුන්වාදීම පසුවට තබා ඉන්ධන මිළ වහාම අඩු කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලීමක් කරනවා. එම ඉල්ලීම ඇතුළත් සංදේශයක්ද ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍යාංශයට ඉකුත්ද භාරදුන් බවයි එහි සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරයෙකු වන අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගෙන්ද විමසීමක් කළා. ඔහු සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ණය ධාරිතාව ඉහළ ගොස් ඇති බැවින් මිල සූත‍්‍රයක් සකස් කිරීමේදී එ් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

කෙසේ වෙතත් සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ප‍්‍රකාශ කළේ ඉන්ධන මිල ගණන් අඩු කර පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීම යහ පාලන ආණ්ඩුවේ වගකීමක් වන බවයි.

Leave a Reply