පබාට හරි කරදරයි කසාදෙත් කල් ගියා

උපේක්‍ෂා මොකක්‌ද සිද්ධවුණේ ?

මගේ පස්‌සෙන් අවුරුදු ගණනාවක්‌ ආදරෙයි කියාගෙන පුද්ගලයෙක්‌ එනවා. ඔහුට මාව බඳින්න ඕනෑ කියලත් කියනවා. ඔහුව මීට අවුරුදු තුනකට කලින් පොලිසියට අල්ලලා දුන්නා. ඊට පස්‌සේ ඔහු මගේ පසුපසින් එන එක නැවැත්තුවා. නමුත් කතා කරන එකයි, SMS ගහන එකයි නැවතුණේ නැහැ.

ඒ කියන්නේ මේ වෙනකොටත් දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ එනවා ?

ඇත්තටම එනවා. අවුරුදු පහක්‌ තිස්‌සේ තමයි මේ සිද්ධිය වෙන්නේ. පොලිසියට ඔහුව අල්ලලා දුන්නාට පස්‌සේ නැවතුණා. පසුගිය සතියේ ඔහු ආපහු මගේ නිවසට ආවා.

ඒ කියන්නේ පසුගිය 14 වැනිදා ?

නැහැ, ඊටත් කලින් සතියේ ඔහු මගේ ගෙදර ආවා. ඒ වෙලාවේ මම 119 ට කතා කරලා පොලිසියට දැනුම් දුන්නා. නමුත් පොලිසිය එන්න ප්‍රමාද වුණා. ඒ අතරේ ඔහු මට කියන්න තියන දේ කියලා පැනලා ගියා.

මොනවාද ඔහු කිව්වේ ?

මම ඔයාට ආදරෙයි, මට ඔයාව බඳින්න ඕනෑ කියලා තමයි කිව්වේ.

ඔයා විවාහ වෙනවා කියලා දැනගෙනද ඔහු ආපහු ආවේ ?

නැහැ, නැහැ, ඊටත් කලින් ඉඳන් තමයි ඔහු මගේ පස්‌සෙන් එන්නේ. මම මුලින්ම සඳහන් කළේත් ඒකයි ඔහු මීට අවුරුදු තුනකට කලිනුත් මගේ පස්‌සෙන් ආදරය පතාගෙන ආවා කියලා. ඔහු මානසික විකෘති පුද්ගලයෙක්‌.

ඔබ කොහොමද එහෙම කියන්නේ. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙක්‌ නේද?

මනස විකෘති පුද්ගලයෙක්‌ හින්දානේ ඔහු මගේ පස්‌සෙන් මෙහෙම ආදරේ පතාගෙන එන්නේ. නැතිනම් එහෙම එන්නේ නැහැනේ.

පොලිසිය සඳහන් කරලා තිබුණා ඔයා ඔහුව හොඳින් දන්න පුද්ගලයෙක්‌ කියලත් ?

මම ඒ ගැන ඇත්තටම කනගාටුවෙනවා. මම ඔහුව හඳුනන්නේ නැහැ. නිතර කතා කරන නිසා නම දන්නවා.නමුත් පොලිසියෙන් මාධ්‍යයට පවා සඳහන් කරලා තිබුණා, ඔහුව මම හොඳට හඳුනනවා කියලා. නමුත් මම ඔහුව දන්නේ නැහැ.

නම මොකක්‌ද?

දිලංක.

ඔහුට දේශපාලන සම්බන්ධතා තියෙනවාද?

මම දැනුවත්ව එහෙම නැහැ. මම ඔහු ජීවත්වෙන පළාත පවා දැනගත්තේ පසුගියදා ඇතිවුණ සිද්ධියෙන් පසුව ඔහුගේ හැඳුනුම්පත පරීක්‍ෂා කිරීමේදී. ඔහු කළුතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්‌ කියලත් පොලිසියෙන් තමයි කිව්වේ. ඉතිං මම දන්නේ නමයි, මුහුණයි විතරයි. වෙන කිසිම දෙයක්‌ දන්නේ නැහැ.

එතකොට ඔබේ දුරකථන අංක, ඔබ යන එන තැන් දන්නේ කොහොමද?

අපි වගේ ජනප්‍රිය පුද්ගලයන්ගේ දුරකථන අංක, යන එන තැන් ගැන දැනගන්න බැරිකමක්‌ නැහැනේ.

ඔහු ඔබේ පිටුපසින් එන්න පටන්ගත්ත කාලය මතකද?

ඇත්තටම අවුරුදු හතරකට කලින් තමයි ඔහු මගේ පසුපසින් එන්න පටන්ගත්තේ. මගේ ආරක්‍ෂක භටයන් ඉන්න තැනට, රූගත කිරීම්වලට, ගෙදර පවා ඇවිත් තියෙනවා

මන්ත්‍රීවරියක්‌ වෙලා ඉන්න කාලෙත් ඔහුගෙන් කරදර තිබුණාද?

පැහැදිලිවම. මීට අවුරුදු තුනකට කලින් මම මන්ත්‍රීවරියක්‌නේ.

ඒ වෙලාවේ නීතිය ක්‍රියාත්මක කළේ නැතිද?

මම ඒ වෙලාවේ ඔහුව පොලිසියට අල්ලලා දුන්නා. මම කවදාවත් නීතිය අයුතු විදිහට භාවිත කරන චරිතයක්‌ නෙමෙයි.

පොලිසියෙන් මොකක්‌ද මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔබට කියන්නේ ?

එදා නම් ඔහු පිස්‌සෙක්‌ තමයි කියලා පොලිසිය පිළිගත්තා. මම කරන ඉල්ලීම තමයි ඔහුව මානසික රෝහලකට යොමුකරන්න කියන එක.

ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙක්‌. ඔබ කොහොමද මානසික රෝගියෙක්‌ කියන්නේ?

මානසික රෝගියෙක්‌ නොවේනම් මෙහෙම දේවල් කරන්නේ නැහැ. ඉදිරියේදී මගේ ජීවිතයට පවා ඔහු අනතුරක්‌ කරන්න පුළුවන්. මම එහෙම කියන්නේ පසුගියදා ඔහු මගේ ගෙදර ගේට්‌ටුවත් ඇරගෙන කෙළින්ම ගෙදරට ආවා. මගේ බෝඩිමේ අක්‌කා කෙනෙක්‌ තමයි අන්තිමේ මට කතා කරලා කිව්වේ. මම දන්නේ නැහැ ඔහු වෙන පුද්ගලයන් ඉදිරියේ කොහොමද හැසිරෙන්නේ කියලා. ඔහුත් මේවා දැනුම් තේරුමක්‌ ඇතිව කරනවාද කියලා දන්නේ දෙයියෝ තමයි.

ඔහු ගෙදරට ඇවිත් මොනවාද කියන්නේ ?

මම ඔයාට ආදරෙයි. කසාද බඳින්න ඕනෑ. එක්‌කගෙන යන්නයි ආවේ කියලා තමයි කියන්නේ.

මේ හින්දා ඔබේ විවාහයත් කල් ගියා කියන්නේ ඇත්තද?

දවස්‌ කිහිපයකට කලින් මගේ අම්මාට හෘදයාබාධයක්‌ ආවා. අම්මා දින කිහිපයකට කලින් අසනීපයෙන් හිටිය නිසා අපි තීරණය කළා විවාහය ඉදිරියට කල් දාගන්න. දැනට දින නියමයක්‌ නැත්තේ පෙබරවාරි මාසයේ කෝණ මාසයක්‌ලු. අනික මගේ විවාහ උත්සවයේ කටයුතු සංවිධානය කරපු අයටත් දින වකවානු වෙනස්‌ කරන්න සිද්ධ වුණා. ඒ ගැන දින තවමත් තීරණය කරලා නැහැ.

පසුගිය සිද්ධිය විවාහයට බලපෑවාද?

ඒ ප්‍රශ්නය මට අද ඊයේ ඉඳන් තියෙන දෙයක්‌ නෙමෙයි. ඔහුව මම පොලිසියට පවා අල්ලලා දුන්නානේ. ඇත්තටම මගේ අම්මා අසනීප වුණා. ඒකයි ඇත්තම කතාව. නැතුව කොහේවත් ඉන්න පිස්‌සෙක්‌ මගේ විවාහයට අදාළ නැහැ.

Leave a Reply