ක්‍රිකට් පොඩ්ඩන් වැඩ පෙන්වයි

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (23) පැවති පුහුණු තරගයකින් ජය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. ඔවුන් හමුවේ කඩුලු 4 කින් පරාජයට පත් වූයේ නවසීලන්ත යොවුන් කණ්ඩායමයි.

බංග්ලාදේශයේ පැවැත්වෙන මෙවර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පුහුණු තරග ඊයේ ආරම්භ වුණා.

ඩකා හි පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 204 ක් රැස් කළා. ජෝෂ් ෆිනී ලකුණු 54 යි. පන්දු යැවීමේදී ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමේ අසිත ප‍්‍රනාන්දු, ජෙහාන් ඩැනියෙල් සහ ලහිරු සමරකෝන් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ලකුණු 205 ක ඉලක්කය හඹාගිය ශී‍්‍ර ලංකා යොවුන් කී‍්‍රඩකයින් පන්දුවාර 36 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී එම ජයග‍්‍රාහී සීමා පසු කර ගියා. ශී‍්‍ර ලංකා යොවුන් පිල ජයග‍්‍රාහණය කරා රැගෙන ගිය ෂම්මු අෂාන් නොදැවී ලකුණු 66 ක් රැස් කළා. නායක චරිත් අසලංක ලකුණු 39 යි. ශී‍්‍ර ලංකා යොවුන් පිල සහභාගි වන දෙවන පුහුණු තරගය නේපාල යොවුන් කණ්ඩායම සමග හෙට (25) පැවැත්වීමට නියමිතයි.

Leave a Reply