මට ඕන දෙනවක හාමිනේ වගේ මැරෙනකම්ම රඟපාන්න

make-money-468x60-2

උපේක්ෂා ස්වර්ණමාලි හැමෝම ආදරය කරන ජනප්‍රිය නිළියක්. නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි උපේක්ෂා අතිශය ජනප්‍රියත්වයට පත්වුණේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘පබා’ ටෙලිනාට්‍ය මාලාව හරහා පබා ලෙසින්. ඒ ලැබුණු අසීමිත ජනප්‍රියත්වය නිසාම ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු යන්නට පවා ඇය වාසනාවන්ත වුණා. මේ දිනවල නම් උපේක්ෂාගේ අලුත්ම පදවිය මව් පදවියයි. ජීවිතේ මේ ලැබූ උතුම්ම පදවිය ගැන උපේක්ෂා මාධ්‍යට කිව්වේ මෙහෙම.

උපේක්ෂා කොහොමද ජීවිතේ අලුත් වෙනස?

2016-12-16-ent-31වෙනස කියන්නේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා. තවම හැඩ ගැහෙනවා. ජීවිතය විඳින කාලයක් මේ. මව් පදවිය කියන එක ගැන අපි කොයිතරම් අහලා තිබ්බත් තේරුම් ගන්න උත්සහ කළත් අම්මා කෙනෙක් වෙන්නම ඕනේ හරියට තේරුම් ගන්න. පැහැදිලිවම සැහැල්ලුවට ගත යුතු දෙයක් නෙවෙයි. මොකද අද කාලේ දරුවෙක් වදන්න ලේසියි නමුත් හදන්න අමාරුයි. මේක සුන්දරයි හොඳයි සතුටුයි කියන්න පුළුවන් දෙයක් විතරක් නෙවෙයි ඒ බැරූරුම්කම තේරුම් අරන් සිහියෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. මම ජීවිතේ වටිනාම දෙයක් හැටියට දැන් මේ මව් පදවිය අත්විඳින්නේ.

පුංචි දෝණිට තිබ්බ නම?

ධනුජි ෂැනන් පෙරේරා.

දුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා කලින්ම දැනගෙන හිටියද?

ඔව් මට පුදුම ආසාවක් තිබ්බේ ඒ ගැන දැනගන්න. ඒ නිසා අපි කළින්ම දැනගත්තා.

කැමැත්තෙන් හිටියේ දුවෙක්ට ද ?

මෙහෙමයි. අවංකවම කියනවා නම් සමාජයේ කතා වෙන ආකල්ප එක්ක අපිටත් එහෙම ආසාවක් තිබ්බා. වාසනාවකට මම එක්කෙනෙක්ට කැමති වෙද්දී මහත්තයා කැමැත්ත අනිත් පැත්තට. නමුත් මම මුල් මාස තුන යද්දී තේරුම් ගත්ත දෙයක් තමා දුවෙක් ද පුතෙක් ද කියන දේ නෙවෙයි වැදගත් නිරෝගී දරුවෙක් කියන දෙය. අපේ රටේ තියෙන මේ ආකල්පවල තියෙන දුර්වලතා නම් පුදුම ඛේදනීය තත්ත්වයක්. මුල් දරුවා දුවෙක් වුණොත් හොඳ කියන අය ඉන්නවා වගේම පුතෙක් ලැබුණොත් හොඳයි කියන අය ඉන්නවා. ඒත් මම තේරුම් ගත්ත දෙයක් තමා දරුවෝ කියන්නේ අපේ ප්‍රශ්නවලට විසඳුමක්වත් අපේ වාසනාව පාදා ගන්න තියෙන දෙයක්වත් නෙවෙයි. අපේ පැවැත්මට අපි සමාජයට යහපත් දරුවෙක් දායාද කරන්න ඕනේ. අද කාලේ දුවෙක් ද පුතෙක් ද කියලා වෙනසක් නැහැ. දෙපාර්ශවයම පරිස්සම් කරගන්න හරි අමාරුයි.

ඔබට දරුවා ලැබුණේ සාමාන්‍ය දරු ප්‍රසූතියකින්ද සීසර් මගින්ද?

සීසර් මගින්.

ඇයි ඒ. එය ඔබේ තීරණයක් ද?

ඒක මම සහ මගේ මහත්තයා වගේම මගේ වෛද්‍යවරයා එක්ක කතා කරලා ගත්ත තීරණයක්. මගේ මහත්තයට ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ වෙලාවේදීත් දෙසැරයක් හිතන්නේ නැතුව සියලු වියදම් දැරුවා. මම දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා මට මේ වගේ මහත්තයෙක් ලබා දුන්නට.

බයක් තිබුණද ?

අනිවාර් යෙන්ම. පුංචි නෙවෙයි ලොකු බයක් තිබ්බා. මොකද අපිට සමාජයෙන් ඇහෙන දේවල් සහ අන්තර්ජාලය තියෙන නිසා අපි එක එක දේවල් හොයනවා වැඩියි. ඒ නිසා තමා බයක් තිබ්බෙ. හැබැයි කියන්න ඕනේ දරු ප්‍රසූතිය කියන දේ සාපේක්ෂයි. එක එක්කෙනාගේ මානසිකත්වය දරා ගැනීමේ ශක්තිය සහ වාසනාව ලැබීම මේ හැමදේම බලපානවා. මට වුණත් තිබ්බෙ අනවශ්‍ය බයක්. අද මම හිතද්දී මට දැනෙන එකම දේ තමා මට තිබ්බ ඒ අනවශ්‍ය බය ඇරෙන්න මට කිසිම ගැටලුවක් තිබ්බෙ නැහැ. මට ප්‍රසිද්ධියේ කියන්න තියෙන්නේ අම්මලට බය වෙන්න එපා මොහොතින් මොහොත තමන්ට එනදේට හොඳින් මුහුණ දෙන්න.

ජ්‍යොතිෂය විශ්වාස කරනවද?

නැහැ. මමත් මගේ මහත්තයත් දෙන්නම ජ්‍යොතිෂය විශ්වාස කරන්නේ නැහැ.

දෝණි කව්රු වගේ කියලද දකින අය කියන්නේ?

අනේ… දුකකට තියෙන්නේ දකින හැමෝම කියන්නේ තාත්තා වගේ කියලා. ඇත්තටම මගේ මහත්තයා ලස්සනයි එයාට ලස්සන ඇස් දෙකක් තියෙනවා. නමුත් මගේ පොඩි ආත්මාර්ථකාමීකමක් සහ ලෝබකමක් තියෙනවා ඒ නිසා මම මේ දවස්වල හොයනවා හොයනවා පොඩි හරි දෙයක් තියෙනවා ද කියලා මම වගේ. ඉතින් චූටි චූටි දේවල් ටිකක් තියෙනවා. නමුත් කල් වැඩියි ඒ ගැන කියන්න ඉතින්.

ශරීරයේ හැඩය පෙර පරිදි පවත්වාගන්න මොනවද කරන්නේ?

එතනදීත් මට කියන්න තියෙන්නේ ආයෙමත් ඒවා නම් හරි බොරු කතා. මගේ අම්මා පවා මට කිව්වා දරුවෙක් ලැබුණට පස්සේ මහත් වෙනවා කියලා. ඒත් මගේ නම් එහෙම අනවශ්‍ය මහතක් ඇති වුණේ නැහැ. කලින්ට වඩා බර කිලෝග්‍රෑම් 3 ක් වගේ වැඩියි. ඊට අමතරව මවක් වෙද්දී වෙන වෙනස්කම් කිහිපයක් තියෙනවා. ඒවා නම් ස්වභාවිකයි. මම ඒවා නම් කවදාවත් කැතක් විදියට දකින්නේ නැහැ. අනික මම දුව ලැබෙන්න ඉන්නකොට ගොඩක් වතුර බිව්වා. ඇත්තම කියනවා නම් ජීවිතේ කවදාවත් බීපු නැති වතුර ප්‍රමාණයක් බිව්වා. ඒ වගේම මම හැමවෙලාවෙම පෝෂණය තියෙන කෑම වර්ග තමා ගත්තේ. පාන් පිටි වර්ග වලින් හදන ආහාර සහ කඩවල්වල තියෙන ආහාර ගත්තෙම නැති තරම්. බත් එක්ක එළවළු සහ මැල්ලුම් තමා වැඩිපුර ගත්තේ.

ආයේ කලාවට අවතීර්ණ වෙනවද?

ඔව් මම කලාවෙන් ඈත්වෙන්න නම් අදහසක් නැහැ. මම කලිනුත් කියලා තියෙනවා මට ඕනේ දෙනවක හාමිනේ වගේ මැරෙනකම්ම රඟපාන්න. ලංකාවේ අපි කලාව කළේ මුදල මුල් කරගෙන නෙවෙයි. ආත්මතෘප්තිය වෙනුවෙන්. අපේ අම්මා පවා මට නිතරම කියන දෙයක් තමා කලාව කියන්නේ දේවත්වයෙන් සලකන්න ඕනේ කියන දේ.

කොච්චර කාලයකින් ද ආය කලා කටයුතු පටන් ගන්නේ?

මම හිතාගෙන ඉන්නවා අඩුම අවුරුද්දක්වත් දරුවට මව් කිරි දෙන්නෙ. ඒ කාලයෙන් පස්සේ මම කැමති හොඳ නිර්මාණවලට ඇරයුමක් ආවොත් මම රඟපානවා.

මහත්තයාගේ ලැබෙන සහයෝගය?

මට වචන වලින් කියන්න බැරි තරම් ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම තමා මම කලා කටයුතුවල නිරත වෙනවට විරෝධයක් නැහැ. ඒ නිදහස මට උපරිමයෙන් ලබාදෙනවා. ඒ වගේම තමා මගේ අම්මවත් මතක් කරන්න ඕනේ. අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

මහත්තයාගේ ව්‍යාපාර කටයුතුයි අනිත් හැමදෙයක්ම ගැන හිතුවම නම් ලංකාව දාලා පදිංචියට විදෙස්ගත වෙන්න නම් බලාපොරොත්තුවක් නැහැ. නමුත් මම මහත්තයට දැන්ම කියලා තියෙනවා දරුවා උසස් පෙළ කළාට පස්සේ උසස් අධ්‍යාපනය හදාරන්න නම් රට යවන්න ඕනේ කියලා. බලමු ඉතින් ඒකට තව අවුරුදු 18ක් තියෙනවානේ.

දුවත් නිළියක් වෙන්න ඕනේ කිව්වොත්?

දරුවා තෝරාගන්න වෘත්තියට මම බලපෑම් කරන්නේ නැහැ. එයාගේ දක්ෂතාව ආසාව හඳුනාගෙන තමා මම මඟ පෙන්වන්නේ. නමුත් දෙයක් කියන්න ඕනේ. ඒ කාලේ වෙද්දීත් ලංකාවේ රංගනය ගැන හරියට හදාරන්න තැනක් තිබ්බේ නැත්නම් මම කියන්නේ පිටරටකට ගිහින් හරි නිවැරදි හැදෑරීමක් එක්ක රංගනයට එන්න කියන එක. මොකද මම අද දකිනවා ජැක්ලින්ට පූජාට අද අපේ රටේ තියෙන තැන. අපේ රටේ ඒ අයට වඩා දක්ෂ අය හිටියත් ඒ අයට තරම් වටිනාකමක් ලැබනේනේ නැහැ. ඉතින් මම කැමති නැහැ නමට නිළියක් වෙනවා දකින්න. මම කැමතියි හොඳ හැදෑරීමක් එක්ක රටට වටින කෙනෙක් වෙනවා දකින්න මගේ දරුවා. ඒක කලා ක්ෂේත්‍රය වෙන්න ඕනේම නැහැ දුව සූපවෙදිනියක් වෙන්න කැමතියි කිව්වත් මම ඒ අංශයෙන් හොඳට උගන්වනවා.

උපේක්ෂා, ජීවිතය ගැන ආපසු හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

සතුටුයි. මම කවදාවත් හිතුවේ නැහැ. ලංකාවේ පදිංචි වෙන්න, නිළියක් වෙන්න ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තු යන්න. ඉතින් මේ හැම දෙයක්ම සිදුවුණේ මගේ ඉරණම අනුව. ගිය ආත්මයේදී මම කළ පින් පව් අනුව තමා මට මේ හැමදෙයක්ම ලැබුණේ. ඒක තමා මගේ එකම විශ්වාසය. ඉතින් මේ ආත්මේ තුළ අපි කරන දේවල් තමා මැරුණම ගෙනියන්න වෙන්නේ. මම ඒක දැඩිව විශ්වාස කරනවා. මට ඕනේ හොඳ පුරවැසියෙක් වෙන්න. ඒ වගේම හිතේ සැනසිල්ලෙන් ජීවත් වෙන්න.

make-money-468x60-2