පිට පිට තෙවැනි වරටත් කිරුළ ඉන්දියාවට

make-money-468x60-2

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධාන කළ ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියානු යොවුන් පිල ඊයේ සමත් විය. මේ තරගාවලිය ආරම්භ වූ 2012 වසරේදී සම ශූරයන් වූ ඉන්දියාව 2014 පැවැති දෙවැනි තරගාවලියේදී ශූරතාව දිනාගත් අතර පිට පිට ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙය විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 273ක් රැස්කළ අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 239ක් පමණි.

ලකුණු 274ක් හඹා යෑමේදී ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් සාර්ථකව ඉනිම ගොඩනැගුවද අවසන් කඩුලු 7 ලකුණු 43ක් තුළ බිඳ වැටීමෙන් ශ්‍රී ලංකාවට පරාජය අත්විය.

රෙවන් කෙලී හා විශ්ව චතුරංග ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාගත්තද ලකුණු 27ක් වෙද්දී චතුරංගගේ ඉනිම නිමා කිරීමට යෂ් ඨාකූර් සමත් විය. චතුරංග ලකුණු 13කට දැවී ගිය අතර හසිත බෝයගොඩ සමගින් පන්දු 90කින් ලකුණු 78ක්ද, නායක කමිඳු මෙන්ඩිස් සමග එක්ව ලකුණු 53ක්ද එක් කරමින් ඉනිම ‍ගොඩනැගීමට රෙවන් කෙලි සමත් විය.

ලකුණු 105ක් වෙද්දී පන්දු 38කින් ලකුණු 37ක් ලබාසිටි බෝයගොඩ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ලකුණු 158දී කෙලී තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. මේ කඩුලු 2කම දවාගත්තේ අභිෂේක් ශර්මා විසිනි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් මෙවර තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා කළ කෙලී දැවී යනවිට ලකුණු 62ක් රැස්කර තිබිනි. පන්දු 101කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් හා හයේ පහරක් ඇතුළත් විය.

ක්‍රිෂාන් ආරච්චිගේ සිවුවැනි කඩුල්ල ලෙස ලකුණු 14කට දැවී ගිය අතර නායක කමිඳු මෙන්ඩිස් 6වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වූයේ ලකුණු 53ක් ලබාසිටියදීය. ඔහුගේ ඉනිම පන්දු 57කදී හතරේ පහර 4ක් ඇතුළත් විය. ඒ සමග ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීම ආරම්භ වූ අතර ලකුණු 225දී හරීන් බුද්දිල (7), ජෙහාන් ඩැනියෙල් (15) හා නිපුන් රන්සික (0) දැවී ගිය අතර මුළු ලකුණු 239දී ප්‍රවීන් ජයවික්‍රම අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ ඉන්දියාවට තෙවැනි වරටත් ආසියානු ශූරතාව හිමිකර දෙමිනි. පන්දු යැවීමේදී අභිෂේක් ශර්මා කඩුලු 4ක්ද, ශිවා සිං කඩුලු 3ක්ද දවා ගත්හ.

ප්‍රිත්වි ෂෝ හා හිමන්ෂු රානා වේගවත් ඉනිමක් දියත් කරමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 67ක් එක් කළේ පන්දු 68ක් පමණක් වැය කරමිනි. ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවකට හසිත බෝයගොඩ උඩ පන්දුවක් රැක ගැනීමෙන් ප්‍රිත්විගේ ඉනිම ලකුණු 39කට සීමා විය.

අනතුරුව දෙවැනි කඩුල්ලට එක්වූ ශූබ්මන් ගිල් එම ලකුණු වේගය තවත් වැඩි කරමින් ඕවර 16.3කදී ඉන්දීය ලකුණු පුවරුව 100 දක්වා ගෙන ගියේය. එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඉන් අනතුරුව ඉන්දීයානු පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල විය.

ඔවුන්ට දෙවැනි ලකුණු 100 සඳහා ඕවර 23.2ක් වැය විය. ඒ අතරතුර කඩුලු 2ක් බිඳ දැමීමට යළි ක්‍රියාත්මක වූ ජයවික්‍රම හා නිපුන් රන්සික සමත් වූහ. ලකුණු 88කින් ගොඩනැගුණු දෙවැනි කඩුල්ලේ සබඳතාව බිඳ දමමින් ජයවික්‍රමගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් හිමන්ෂු රානා ලකුණු 71කට දැවී ගියේය. හතරේ පහර 6කින් හා හයේ පහරකින් වර්ණවත්වූ ඔහුගේ ඉනිමට වැය වූයේ පන්දු 79ක් පමණි.

නායක අභිෂේක් ශර්මා තෙවැනි කඩුල්ලට ගිල් සමගින් එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 203 දක්වා ඉදිරියට ගෙන ගිය අතර නිපුන් රන්සිකගේ පන්දුවකට බෝයගොඩ උඩ පන්දුවක් රැක ගැනීමෙන් ලකුණු 29ක් ලබාසිටි ශර්මාගේ ඉනිම නිමා විය. තවත් ලකුණු 21ක් එක්වෙද්දී ඉනිමේ අනෙක් සාර්ථක පිතිකරුවා වූ ගුබ්මන් ගිල්ද පිටියෙන් කිරීමට ජයවික්‍රමට හැකි විය. පන්දු 92කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 70ක් ලබාසිටි ගිල් දැවී ගියේ අශේන් බණ්ඩාර උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

නිපුන් රන්සික යැවූ ඉනිමේ 47වැනි ඕවරයේදී ඉන්දියාවට කඩුලු 3ක් අහිමි විය. සල්මන් ඛාන් (26) හා ප්‍රියම් ගාග් (5) රන්සිකගේ පන්දු හමුවේ දැවී ගිය අතර හෙට් පටෙල් (0) දුවද්දී දැවී යෑමට හසුවිය. කම්ලේෂ් නාගර්කෝටි ලකුණු 23කට 8වැනි කඩුල්ල ලෙස තිසරු රශ්මික යැවූ අවසන් ඕවරයේ 5වැනි පන්දුවෙන් දැවී ගියේය.

පන්දු යැවීමේදී නිපුන් රන්සික හා ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් දවා ගත්හ.

අවසන් තරගයේ වීරයා ලෙස අභිෂේක් ශර්මා ද තරගාවලියේ වීරයා ලෙස හිමන්ෂු රානා ද සම්මාන දිනා ගත්හ.

make-money-468x60-2