ඇමරිකානු නිලධාරීන් නෙරපන්නෙ නෑ – පුටින්

make-money-468x60-2

කිසිදු ඇමරිකානු තානාපති නිලධාරියෙකු නෙරපා නොහරින බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රුසියාවේ සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් තිස්‌ පස්‌දෙනකු නෙරපා හරින ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය ඔහුගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්‌වීමක්‌ වශයෙනි.

ඇමරිකාවෙන් නෙරපා හරිනු ලැබූ රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ සංඛ්‍යාවට සමාන වන පරිදි රුසියාවේ සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් තිස්‌පස්‌ දෙනකු නෙරපා හරින ලෙස ජනාධිපති පුටින්ට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය යෝජනා කළේය.

රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නෙරපා හැරීමට වොෂින්ටනය පියවර ගත්තේ ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටිස්‌ පක්‌ෂ ඊමේල් පණිවුඩ සොරාගත් බවට රුසියාවට චෝදනා එල්ල වීමෙන් පසුවය.

ඒ අනුව ඇමරිකාව ගත් පියවරට එකට එක කිරීමක්‌ ලෙස ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නෙරපා හරින ලෙස ජනාධිපතිවරයාට යෝජනා කළ බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්රොව් රූපවාහිනිය ඔස්‌සේ නිවේදනය කළේය.

“මොස්‌කව්වල තියන ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන තිස්‌ එක්‌ දෙනකු සහ ශාන්ත පීටර්බර්ග් හි ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන හතර දෙනකු නෙරපා හරින ලෙසට මෙන්ම සේරිබ්‍රයානි උද්‍යානයේ නිවාස සහ දොරෝෂන්යා හි ඇති ගබඩා ගොඩනැඟිල්ල ඇමරිකානුවන්ට තහනම් කරන ලෙස අපි රුසියානු ජනාධිපතිවරයාට යෝජනා කරනවා. මෙම යෝජනාවට ඉක්‌මන් ප්‍රතිචාරයක්‌ ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඔහු පැවසීය.

make-money-468x60-2