රටේ වටිනා සම්පත් විකුණන්න දෙන්න බෑ

යහපාලන රජය මේ විකුණන්න හදන්නේ අපේ රටේ ජාතික සම්පත් බවත් පක්ෂ පාට බේදයකින් තොරව ඊට විරුද්ධව පෙළ ගැසිය යුතු බවත්. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අම්බලන්තොට දී පැවසීය.

හම්බන්තොට වරාය හදන්න ඩොලර් කෝටි 135ක ණයක් ගත්තා. දැන් විකුණන්න හදන්නේ ඩොලර් කෝටි 130කට. ගත්තු ණයවල වටිනාකම විතර ද තියෙන්නේ. අපේ මේ භූමියෙන් වරාය ඉදිකිරීම වෙනුවෙන් අක්කර 400ක් පමණ යටකර තියෙනවා. ඒ වගේම වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා තවත් අක්කර 1200ක් වෙන් කරලා තියෙනවා. යහපාලන ආණ්ඩුව මේ ඔක්කොම විකුණන්නේ අවුරුදු 99ක ගීවිසුමකට යැයි ද අනුර කුමාර දිසානායක මහතා කීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ හම්බන්තොට සංවර්ධන කලාපයට හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් ලබා ගැනීමට විරෝධය පළ කරමින් පසුගිය 5දා අම්බලන්තොට නගරයේ පැවැති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

මේ ගිවිසුමේ කියලා තියෙනවා මේක 99 අවුරුද්දකට බදු දීමට අමතරව මේක තව අවුරුදු 99කට ගිවිසුම දීර්ග කළ හැකියි කියලා. කොහොමද ආණ්ඩුවේ වැඩ කෑල්ල. මේවා අපේ රටේ සම්පත්, අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ මේවා විකුණන්න. මේ තියෙන්නේ අපේ ජනතාවගේ පාරම්පරික ඉඩම්. අපේ නෑදෑයෝ ඉන්නේ මේකේ. අපේ සංස්කෘතිය තියෙන්නේ මේක ඇතුලේ. ඒ නිසා අපි කවුරුත් අපේ මේ ඉඩම් ටික අපේ මේ දේශය රැක ගන්න සටන් කරන්න ඕනෑ.

අද අපේ අලුත් පරම්පාරාවෙ දරුවන්ට ගෙයක් හදා ගන්න ඉඩකඩමක් නැහැ. තියෙන ඉඩමටත් ඔප්පුවක් නැහැ. ඉඩම් බලපත්‍රයක් හදලා දෙන්නේ නැහැ. දැන් මොකද්ද මේ ආණ්ඩුවේ තිබෙන ප්‍රතිපත්තිය. මොකක් නැතත් හොඳට තේරෙනවා අපේ රටේ තියෙන සම්පත් දේපළ කුණු කොල්ලයට කොම්පැණිවලට පැවරීම මේ යහපාලන රජයේ ප්‍රතිපත්තිය බව.

අපි අම්බලන්තොට නගරයට පෙළපාළියකින් ඇවිල්ල කියන්නේ හම්බන්තොට වරාය විකුණන එක නවත්වන්න. ජනතාවගේ ඉඩම් චීනෙට පවරන එක නතර කරන්න කියලා. මේ ආණ්ඩුව තමන්ගේ මුළු ආර්ථික ප්‍රතිපත්ති බවට පත් කරගෙන තියෙන්නේ එදා ජේ.ආර්.ජයවර්ධනගේ ආණ්ඩුව කරා වගේ, චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව කරා වගේම රාජපක්ෂගේ ආණ්ඩුව කරා වගේම මේ ආණ්ඩුවත් තම ආර්ථික ප්‍රත්පත්තිය බවට පත් කරගෙන තියෙන්නේ කුමක්ද. අපේ රටේ දේපළ සම්පත් විකුණන එකයි. දැන් මේ වෙනකොට ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණන්න පිඹුරුපත් සකස්කර තියෙනවා. හම්බන්තොට මොණරාගල අපේ මිනිස්සුන්ගේ අක්කර 15000ක් ගන්න සැලසුම් කරලා තියෙනවා. කොලඹ වරාය නැඟෙනහිර ජැටිය විකුණන්න සැලසුම් කරලා තියෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකිර්ණය විකුණන්න සැලසුම් කරලා තියෙනවා. කහටගහ මිනිරන් පතල විකුණන්න සැලසුම් කරලා තියෙනවා. පුල්මුඩේ කනිජ වැලි සම්පත විකුණන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට ලුණු ලේවාය විකුණන්න සැලසුම් කරලා තියෙනවා. එයාර් ලංකා ගුවන් සමාගම විකුණන්න සැලසුම් කරලා තියෙනවා. ඒ විතරක් නොවෙයි හිල්ටන් හෝටලය පවා විකුණන්න සැලසුම් කරලා තියෙනවා. මේ විකුණන්න හදන්නේ අපේ රටේ ජනතාවගේ දේපළ, අපේ රටේ ස්වභාවික සම්පත්, ඒ නිසා මේ අපේ රටේ ජාතික සම්පත් විකුණන එකට විරුද්දව අපි පෙළ ගැසිය යුතුයි.

මේ අය දැන් දිගින් දිගටම කියනවා මේ දේවල් කරන්නේ රැකී රක්ෂා ඇති කරන්න කියලා. ආර්ථිකය සංවර්ධනය කරන්න තමයි මේ වැඩේ කරන්නේ කියලා. මේ විකුණන්නේ පලවෙනි වතාවට නම් අපි‍ට එහෙම හිතන්න තිබුණ. මේ විකුණන්නේ පලවෙනි වතාවට ද අපේ රටේ තුල්හිරිය මත්තේගොඩ පුගොඩ රෙදි ජනපද තිබුණා වික්කා. ඒවා තමයි අපේ රෙදි කර්මාන්තයේ ආරම්භක තැන් . ඒවා වික්කා. අද මේ ඇදගෙන ඉන්න හැම ඇදුමක්ම පිටරටින් ගේන්නේ. ඒ විතරක් නොවෙයි ඊට පස්සේ කඩදාසි කම්මල් ටික වික්ක. ඇඹිලිපිටියේ කඩදාසි කම්මල වික්කා. වාලච්චේන කඩදාසි කම්මල වික්කා. අද සෑම කඩදාසියක්ම පිටරටින් ගේන්න සිද්ධවෙලා තියෙනවා. ඊළගට අපේ රටේ කිරි පිටි කම්මල් ටික තිබුණා. කිරි නිෂ්පාදනය වැඩි කරනවා කිව්වා. රැකී රක්ෂා වැඩි කරනවා කිව්වා. ඒ කිරි පිටි කම්මල් විකුණුවත් රැකියාවල් ලැබුණාද? නැහැ. අද වෙනකොට අපි කිරි පිටි හදන්නේ සියයට 23යි. සියයයට 77ක් පිට රටින් ගේනවා. මේ හැම විකිණිමක්ම පිටු පස වංචා දුෂණ පොදි ගැහිලා තියෙනවා.

මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති,දේශපාලන බල මණ්ඩල සභික කේ.ඩි. ලාල් කාන්ත යන මහත්වරුන් සමඟ එම පක්ෂයේ දේශපාලන නායකයන්, කලාකරුවන්, හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ එකමුතුවේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක්‌ මේ අවස්ථාටසහභාගී වී සිටයහ.