ආර්ථික අපහසුතා නිසා සුසන්තිකා ඔලිම්පික් පදක්කම වෙන්දේසියට සැරසෙයි

ආසියාවේ කළු වෙලඹ ලෝකයෙන්ම දිනුවා. සුසන්තිකා ජයසිංහ කියන්නේ කවුද කියලා ඒ නිසා හඳුන්වා අවශ්‍ය නැහැ. ඔලිම්පික් පදක්කමක් ගත් ඇය දැන් ආර්ථික අපහසුතා එක්ක ඔට්ටු අල්ලනවා කියලා ආරංචියි. ඒ ගැන වගේම ඇය ගැන පුවත්පතක මේ විදිහට සටහනක් පලවෙලා තිබුණා.


මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල පුහුණුකාරියක ලෙස සේවය කරනවා. වෙන විශේෂ දෙයක් නෑ. දරුවෝ දෙන්නගෙ වැඩත් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා.

දැන් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධයක් නැද්ද?
මම ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශිකාවක් විදියට වැඩ කළානේ. නමුත් 2015 ජනවාරි ආණ්ඩු පෙරැළියත් එක්ක ඒ රස්සාව මට නැති වුණා.

රස්සාව නැති වුණා ද? නැති කළාද?
මම හිතන්නේ නැති කළා. ඒ එක්කම මට ලැබිච්ච සියලු පහසුකම්, දීමනාත් අහිමි වුණා.

මොනවද ඒ ආණ්ඩුවෙන් ලැබුණු පහසුකම්?
මට කාර් එකක් දීලා තිබුණා රියදුරෙක් හිටියා. මාසිකව රුපියල් 80,000ක වැටුපක් ලැබුණා. ඒවා මට ලැබුණේ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් හැටියටත්, ජනාධිපති සම්බන්ධිකරණ නිලධාරිණියක් හැටියටත් කළ සේවයටයි.

ඔබට ඒවා අහිමි වෙන්නේ?
රජය මාරු වීමත් එක්ක තමයි. ඊට අවුරුද්දකට විතර පස්සේ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් හැටියට මට නැවත පත්වීමක් ලැබුණා.

පරණ වරප්‍රසාද, දීමනා ලැබුණාද?
නෑ. ඒ මොකවත්වත් නෑ. 2020 දක්වා කැබිනට් අනුමැතිය සහිතව මාව ක්‍රීඩා උපදේශිකාවක් විදියට බඳවා ගත්තා. ඒ වෙනුවෙන් මට මාසෙට රුපියල් 60,000 ක් විතරයි ලැබුණේ.

ඒත් ඔබ බාර ගත්තා?
ඔව්. මට අවුරුද්දෙ මුල මැද අග කියලා නෑ. ක්‍රීඩා උපදේශිකාවක් විදියටත් නොවෙයි ඔලිම්පික් පදක්කමක් දිනා ගත්ත එකම ක්‍රීඩිකාව විදියට රට පුරා ආරාධනා එනවා. විවිධ උත්සවවලට යන්න වෙනවා. එහෙම වුණාම මම හරි අසරණයි. මෙච්චර කාලයක් රටක් විදියට මාව බලාගත්තා. හැමදේම කළා. නමුත් දැන් ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එහෙම ජීවත් වෙනකොට ඇත්තටම මට එදා කිව්වේ ජාතික වස්තුවක් කියලයි.
ආසියාවෙම ගත්තොත්, ඉන්දියාව, චීනය, ජපානය වගේ රටකටවත් නෑ කෙටිදුර ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක්. ඇත්තටම මේක කිව යුතු දෙයක් නොවෙයි. ඔය මගේ ඇත්ත තත්ත්වය. ඇත්තටම ඒක හපන්කමක්. නමුත් මේ ක්‍රීඩා බලධාරින් මේ රටේ දරුවන්ට කිව්වේ නෑ. ගමෙන් කොස් දෙල් කාලා ආපු සුසන්තිකා ආසියාවේ කිසිම ක්‍රීඩිකාවකට කරන්න බැරි වෙච්ච දේ කළා කියලා. ඉතිහාසය තුළ ආසියාවේ කිසිම ක්‍රීඩිකාවක් කෙටි දුර ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක් දිනලා නෑ. ඒ අභිමානය මට තියෙනවා.

ඒ අභිමානය තියෙද්දී ඇයි ඔබ දේශපාලනයට ගියේ ?
ගොඩක් දෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නය ඇහුවා. මට එහෙම අවබෝධයක් දැනීමක් නැති වුණත් මට හිතුණා රට යන පැත්තට මිසක් අපි යන පැත්තට රට එන්නේ නැහැ කියලා. මට එහෙම තේරුණා. පැත්තකට වෙලා හිටියොත් අපට කවදාවත් මොකුත්ම කරන්න වෙන්නේ නැහැ කියලා මට තේරුණා. . ඒ ක්‍රීඩාවට යමක් කරන්නයි.
ඒ වෙනුවෙන් ලැබුණු දෙයක් තියෙනව ද?
එකම ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකාව වුණත් මට රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එකක්වත් ලබා දීලා නෑ. මම මේ රටට ඇත්තටම ගේන්න පුළුවන් ඉහළම ජයග්‍රහණය, ගෞරවය ගෙනාවා. මම මෙහෙම කතා කරන්න ඕන නෑ. මම මගේ රටට ආදරෙයි. මම දරුවන් දෙන්නෙක් හැදුවා. මං ගොඩාක් දේවල් හොයා ගත්තා. මම ලස්සන ගෙයක් හැදුවා. මම නැති කරගෙන ලැබිච්ච දේවල් විනාශ කරගන්න කෙනෙක් නෙවෙයි. මගේ අම්මා තාත්තා අදටත් රැකෙන්නේ මගෙන්. මගේ පවුලේ සහෝදරියෝ හතර දෙනෙක් හිටියා.
එයින් අක්කලා දෙන්නෙක් දැන් ජීවතුන් අතර නෑ. අවුරුදු තුනක් වෙනවා එක අක්කා කෙනෙක් නැති වෙලා. එයා නැති වුණේ පිළිකාවකින්. දෙවැනි අක්කා දියවැඩියා රෝගයෙන් මිය ගිහින් මාස එක හමාරයි. පවුලේ කෙනෙක් හැටියට මට අහක බලන්න බෑ. මම ඒ වෙනුවෙනුත් කැප වුණා. මම ගෙදර අයත් එක්ක හැමදාම ජීවත් වුණේ.

විවාහය දෙදරන්නත් ඒක හේතුවක් වුණා.
ඔව්. ඇත්ත වශයෙන්ම තාම අපි දෙන්නා නීතියට අනුව වෙන් නොවුණත් අපි දෙපැත්තක තමයි ජීවත් වෙන්නේ. මට ඒ නිසා නොයෙක් නින්දා අපහාස විඳින්නත් වුණා. ඒක මට විතරක් උරුම දෙයක් නොවේ කියලා මම හිතනවා. මට කවදාවත් මගේ මාපියො සහෝදරියො අත හරින්න බෑ. දරුවෝ දෙන්නගෙ බරත් කරට අරගෙන මම ජීවත් වෙද්දී තමයි ආණ්ඩුව පෙරළුණේ. ඊට පස්සේ නායකයා වෙනස් වුණා. ඒ එක්ක මම අසරණ වුණා.

ක්‍රීඩාව වෙනුවෙන් මට ඒ දේ කරන්න බැරි නෑ. මට ආරාධනා කරපු හැම දෙයකටම මම සම්බන්ධ වුණා. එදා වුණත් මම බලෙන් ගියේ නෑ. මට හරි පිළිගැනීමක්, තැනක් තිබුණා. මම ඒකත් එක්ක තමයි කටයුතු කළේ. දේශපාලනයේ ඇළිලා කරන්න ඕන කියන තැන මම නෑ. ඉතින් ඒ දෙයත් එක්ක මම දන්නා මට පෞද්ගලිකව ජීවත් වෙන්න පුළුවන්. නමුත් මගේ වියහියදම් එක්ක බැලූ විට මං රැකියාවක් කළ යුතුයි කියලා මට හිතෙනවා.
ඔබ කිව්වා මේ ආණ්ඩුව යටතෙත් රුපියල් 60,000 ක දීමනාවක් සමග ජොබ් එකක් ලැබුණා කියලා.

ඔව්, ඒක ලැබුණා. මට විශාල වගකීමක් එක්ක තමයි ඒ පත්වීම ලැබුණේ. ආධුනික ක්‍රීඩකයන් වගේම ජාතික තලයේ පුහුණු සංචිතය මට බාර වුණා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතය හැටියට. ඒ වගේම ක්‍රීඩා ඇමැතිතුමාගේ ක්‍රීඩා උත්සව තියෙනවා නම් ක්‍රීඩාවේ උන්නතියට සංවර්ධනයට අවශ්‍ය උපදෙස් දෙන්න. ඒ විතරක් නොවෙයි. සමහර වෙලාවට ක්‍රීඩා වැඩසටහන්වලට සම්බන්ධ වෙලා වැඩ කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. පිට්ටනියේ දී පවා හැම දෙයක්ම බලන්නේ හදන්නේ මම. ඇමැතිතුමා පත්වීම දෙන දවසෙම කිව්වා. “සුසන්තිකාට මේ ඩියුටිය බාර දෙන්න. විශේෂයෙන්ම එයාට ඉන්න තැනක් ලෑස්ති කරලා දෙන්න.” කියලා.

නමුත් ඒවා වුණේ නෑ ?
ඔව්, කියන්න කනගාටුයි. ඇමැතිවරයාගේ උපදේශිකාවක් වුණත් නැතත් මේ රටට මේ ආසියාවට ඔලිම්පික් පදක්කමක් ගෙනාපු මේ සුසන්තිකාට ක්‍රීඩා අමාත්‍යාශයේ කාමරයක්. අඩු ගාණේ ගාර්ඞ් රූම් එක ළඟ පුංචි කාමරයක්වත් නැද්ද දෙන්න. මට පෑනක් ෆයිල් කවරයක් තියාගන්න මේස කෑල්ලක්වත් නෑ.

ඒක තමයි අලුත්ම තත්ත්වය. මගෙ ගිය මාසේ අප්‍රේල් මාසයේ ඉඳන් මගේ පඩිය නවත්තලා.
ඔලිම්පික පදක්කමක් දිනපු මම හුඟාක් වෙලාවට මම කියන්නේ කොහොමද කෙනෙකුට ක්‍රීඩකයෙක් වෙන්න. ක්‍රීඩිකාවක් වෙන්න කියලා. ඇත්තටම ක්‍රීඩකයෙක් වෙලා ක්‍රීඩිකාවක් වෙලා ජීවත්වෙන්න බැරි නම් මොකද මම අවුරුදු උත්සවයේ ඉඳලා ඔලිම්පික් දක්වා දුවලා ඔලිම්පික් පදක්කමක් දිනපු ක්‍රීඩිකාවක්. ඒ මම දැන් ක්‍රීඩාවෙන් සමු අරගෙන අවුරුදු 9 යි. ඔලිම්පික් පදක්කම අරගෙන අවුරුදු 17ක්. ඒ මම අද ඉන්න තැන ගත්තොත් මටම කනගාටුයි. එහෙම බැලුවම මම කොහොමද තවත් කෙනෙකුට කියන්නේ ක්‍රීඩාව තෝරාගන්න කියලා. මම කරපු දේ තවත් කවුරුවත් කරල නෑ. අපිට එහෙම කරනවා වගේ අයින් කරන්න එපා.
ඩර්වින් පෙරේරා සර් ඊයේ පෙරේ දා මැරිලා ගියා. මම 1997 දී ලෝක රිදී පදක්කම ගත්තේ ඩර්වින් සර් යටතේ ටේ්‍රනින් කරලා. හැබැයි කවුරුවත් ඩර්වින් සර් මැරිලා යනකම් එක ඇගයීමක් හරි කළා ද? මම ඒ සම්මාන උළෙලෙ දී ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපිට දී කිව්වේ ඒ ඛේදවාචකය ගැනයි. අද බලන්න ශ්‍රියානි කුලවංශ, දර්ශා, සුගත්, මම අපෙන් ගන්න ප්‍රයෝජනය මොකක්ද මේ රට?. දවසට පැය දෙක තුනක් හරි පුහුණු සැසියක දී අපෙන් ප්‍රයෝජනයක් ගන්නවද? මහින්දානන්ද ඇමැතිතුමා ඉන්න කාලෙත් මම මේ ගැන කතා කළා. මම කියන්නේ මට වඩා දක්ෂ අය තව මේ රටේ කොච්චර ඉන්නවා ඇද්ද? නමුත් හරි පුහුණුකරුවෝ නොවෙයි පුහුණුකරුවන් වෙලා ඉන්නේ.
මේක තමයි ඇත්ත. එදා මෙදාතුර ආව ක්‍රීඩා ඇමැතිවරුන් ගත්තම මට කියන්න කනගාටුයි. මම ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ පරිපාලනයට ආවේ දයාසිරි ජයසේකර ඇමැතිතුමාගේ කාලයේ දි. එතුමට අමතක ද දන්නේ නෑ. මම රටට ගෞරවයක් ගොනාව ක්‍රීඩිකාව. මගෙන රටට සේවයක් ලබාගත යුතුයි කියලා.
මතක තියාගන්න මම බය නෑ. මට නැතිවෙන්න දෙයක් නෑ. මට තියෙන්නේ රටට ගෞරවය හා ජයග්‍රහණය ගෙනත් දීපු ඉතිහාසයක්. ඒ නිසා මට හරිම වේදනායි. ක්‍රීඩා අමාත්‍යාංශයේ මට තැනක් නැත්නම් මට තැන තියෙන්නේ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙ ද? එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙ ද? මේ ක්‍රීඩා ඇමැතිට අමතක වුණාට එයා දැන් වර්තමාන ක්‍රීඩා ඇමැති. හැබැයි මම අවුරුදු 20ක් රට වෙනුවෙන් ක්‍රීඩා කරපු කෙනෙක්. ඒ නිසා මම එයාට නැවතත් කියනවා. එයා බුද්ධිමත් අමාත්‍යවරයෙක්. එයා හැම පැත්තෙන්ම දක්ෂයෙක්. එයාගේ ඥාන ශක්තියත් එක්ක එයා කල්පනා කළොත් මම කිව්ව දේ හරියට තේරුම් ගනීවි. ක්‍රීඩාව දියුණු කරන්න අවශ්‍ය දේයි මම කිව්වේ.

ඒ හැට දාහත් නැතිව ඔබ කොහොමද දැන් ජීවත් වෙන්නේ?
ආදායම් මාර්ග කියන්නේ ඇත්තටම මම හොයාගත්ත මුදලක් තිබුණා. දේශපාලන කටයුතුවලට ඒ ගොඩාක් මුදල් වියදම් වුණා. එතැන දී මට කවුරුවත් විශේෂයෙන් උදව් කළේ නෑ. ඒ නිසා මම උපයා ගත්ත දේවලුත් මට හරි හරියට වියදම් වෙලා. මම මෙහෙම අසරණ වෙලා ඉන්න කොට ජනාධිපති නීතිඥ ජයන්ත දොළවත්ත මහත්තයා හරහා ආරක්ෂක ලේකම්තුමාට කතා කළා. ඊට පස්සේ මාව මේ කාලය තුළ මාව හමුදාවේ කෙටිදුර පුහුණුකාරියක් හැටියට කොන්ත්‍රාත් පදනම යටතේ මාව බඳවා ගත්තා.

ඔබ මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ?
ක්‍රීඩා බලධාරින් මට සලකන්නේ මේ තරම්ම පහත් විදියට නම් මට තියෙන ලොකුව සම්පත තමයි ඔලිම්පික් පදක්කම. මම ඒක වෙන්දේසියේ දානවා.

ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරනවා?
ඔව්. මම වෙන මොනවා කරන්නද

ඔබ ක්‍රීඩා අමාත්‍යාංශයට මේ ගැන දැනුම් දුන්න ද?
මොනවා කියන්නද? මම එක පාරක් ඔය නිලධාරින් එක්ක කතා කළා. ඒ අය කියනවා අපි දැන් සැලසුම් කරගෙන යන්නේ ක්‍රීඩා කෞතුකාගාරයක් හදන්න කියලා. මම අහනවා ඒකේ තැන්පත් කරන්නේ ක්‍රීඩා ඇමැතිගේ පදක්කම් ද කියලා. මේ රටේ ලොකුම පදක්කම තියෙන්නේ මං ගාව. ඒක කෞතුකාගාරයට දෙන්න කලින් මම පදක්කම වෙන්දේසි කරනවා. මොකද මට ඔක්කොටම කලින් දරුවෝ දෙන්නත් එක්ක ජීවත් වෙන්න ඕනා.

ඔලිම්පික් පදක්කම වෙන්දේසියේ දාලා?
මම යනවා ඕස්ටේ්‍රලියාවට. ඒ වගේ රටක් මාව පිළිගනීවි. මට ඊට වඩා දෙයක් කරන්න ඉතිරිවෙලා නෑ.