ලන්ඩන් ගින්නෙන් නිවෙස් අහිමි වූවෝ උද්ඝෝෂණයක

ලන්ඩනයේ ගින්නට හසුවූ ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණයේ ජීවත් වූ පිරිසක් කෙන්සිංටන් සහ චෙල්සී නගර ශාලාව වෙත බලහත්කාරයෙන් ඇතුළු වෙමින් තම ඉල්ලීම්වලට කඩිනම් විසඳුම් සපයන ලෙස උද්ඝෝෂණය කර තිබේ.

නගර ශාලා ගොඩනැගිල්ලෙන් පිටත 50 – 60 ත් අතර පිරිසක් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර ඔවුන් මෙසේ නගර ශාලාව තුළට බලහත්කාරයෙන් කඩා වැදී ඇති බව විදෙස් වාර්තා පවසයි.

නිවසක් නොමැතිව ජීවත් වන තමන්ට වහාම නිවාස ලබාදීමට නගර සභාව කටයුතු කළ යුතු බව ඔවුන්ගේ මූලික ඉල්ලීම වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ පැවැත්වීමද ඒ අතර වූ බව කියැවෙයි.

කෙසේ වෙතත්, මෙම ගොඩනැගිල්ලේ ජීවත් වූ වැඩි පිරිසක් සංක්‍රමණිකයන් ලෙස බ්‍රිතාන්‍යයට පැමිණි පිරිස් බවද කියැවේ. ඒ අනුව, මෙම උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස් අතරද එවැනි සංක්‍රමණික පිරිස් බහුලව දැකිය හැකි වූ බව විදෙස් වාර්තා පවසයි.

මෙහිදී, විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා ස්ටර්ලිං පවුම් මිලියන 5ක අරමුදලක් ඇති කිරීමට අගමැතිනිය කටයුතු කර තිබූ අතර, ඔවුන්ගේ ආහාර, ඇඳුම්, සහ අනෙකුත් එදිනෙදා අවශ්‍යතා සඳහා එම මුදල් නිකුත් කරන බව පවසා තිබුණි.

ආපදාවට ලක්වූවන් හමුවෙමින් අගමැතිනිය මෙම තීරණය ගන්නා විට ඇයට විරෝධය පාමින් ඇතැම් දෙනා කෑමොර දී ඇති අතර, එහිදී අගමැතිනිය පවසා ඇත්තේ මේ අවස්ථාවේදී රජය සහන සැලසීමට කඩිනමින් මුදල් යොදවන බවත්, මෙම සිදුවීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදුකරමින් සියලු දෙනාට නිවාස ලබාදීමට කටයුතු කරන බවත්ය.

මේ අතර, ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසියේ අණදෙන නිලධාරී ස්ටුවර්ට් කන්ඩි පවසා සිටියේ පසුගිය 14 වැනිදා අලුයම හටගත් මෙම ගින්න හිතාමතා ඇතිකළ එකක් බවට සැක කිරීම සඳහා කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් නොමැති බවය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විනිසුරුවෙකුගේ මූලිකත්වයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව අගමැතිනී තේරේසා මේ අවධාරණය කර තිබුණි.