දෙරටේ සබඳතා යළි හැරවීම ගැන කියුබාව නොසතුටින්ලු

කියුබාව සමග යළි සබඳතා ඇරඹීමට හිටපු ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දුවලින් හරි අඩක් පමණ යළි ආපස්සට හැරවීමට වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීම ගැන කියුබාව කණස්සල්ලට පත්ව තිබේ.

කෙසේ වෙතත්, ඔවුන් තවදුරටත් තම දැවැන්ත අසල්වාසියා සමග සුහදත්වයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද කියුබාව කියයි.

පසුගියදා මියාමි හිදී අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, පැවති ඔබාමා පාලනය විසින් කියුබාව සඳහා වූ සංචාරක හා වෙළෙඳ බාධක කිහිපයක් ලිහිල් කිරීමට ගත් පියවර තමා යළි ආපස්සට හරවන බවයි. එවකට ඔබාමා පාලනයේ එම තීරණය ඒකපාර්ශ්වීය ගනුදෙනුවක් බවත්, එහි වැඩි වාසිය කියුබාවට පමණක් අත්වන බවත් පවසමින් ට්‍රම්ප් මෙසේ කීය.

කෙසේ වෙතත්, කියුබාව සමග පැවති ඔබාමා පාලනය ඇති කරගත් රාජතාන්ත්‍රික හෝ වාණිජ ගනුදෙනු කිසිවක් යළි ආපස්සට හැරවීමක් ගැන ට්‍රම්ප් කතා කළේ නැත.

"වෙළෙඳ කටයුතු දැඩි කිරීම සම්බන්ධයෙන් වූ ඇමෙරිකාව ගත්තා වූ නව තීරණය කියුබාව හෙළා දකිනවා" යැයි එරට රජයේ රූපවාහිනිය පවසා සිටියේය.

පසුගිය ඔබාමා පාලනාධිකාරිය විසින් එදාමෙදා තුර කියුබාව සමග පැවති ආරවුල් අවම කිරීමේ අරමුණින් වෙළෙඳ හා සංචාරක බාධා ලිහිල් කිරීමක් කරනු ලැබීය.