පෘතුගාල ලැව් ගින්නෙන් 62ක් මරුට

මධ්‍යම පෘතුගාලයේ ඇති වූ ලැව්ගිනිවලින් 62 දෙනකු මියගිය බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනා ගින්න ඇති වූ වනාන්තර ආසන්නයේ මාර්ගවල ගමන් කරමින් සිටි පිරිස් බවත් බලධාරීහූ ප්‍රකාශ කළහ.

ඊයේ (18) සවස් වනතුරුත් ගින්න නිවා ගැනීමට නොහැකිව තිබූ බව වාර්තා වූ අතර දශක ගණනාවකට පසු පෘතුගාලයට බලපෑ දරුණුතම ලැව් ගින්න මෙය යැයි ද වාර්තා විය.

ලිස්බින් අගනුවරට කිලෝමීටර 200ක් ගිනිකොන දෙසින් පිහිටි පෙද්‍රෝගාඕ ග්‍රාන්දේ කඳුවැටිය ආසන්න ප්‍රදේශය මෙම ගින්න ඇති වී තිබෙන අතර දැඩි සුළං සහ උෂණත්වය ඉතා අධික විය. ගින්න හේතුවෙන් 43 දෙනකු මියගිය බව තහවුරු කළ හැකි බවත් ගිනි නිවන භටයන් ඇතුළුව 80කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් පෘතුගාල අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. තවත් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන් වී තිබේ.

සෙනසුරාදා (17) ආරම්භ වූ ලැව්ගිනි මේ වනවිට පෘතුගාලයේ වනාන්තර 60ක් දක්වා පැතිරගොස් තිබෙන බවත් ගිනිනිවන භටයන් 1,700කට ආසන්න පිරිසක් යොදවා ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. ගිනි නිවීම සඳහා අසල්වැසි ස්පාඤ්ඤයෙන් ජලය හෙළන ගුවන් යානා දෙකක් ද පෘතුගාලයට එවා ඇතැයි එම වාර්තාවල දැක්විණි.