ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට යළිත් දැවැන්ත ඉලක්කයක්

make-money-468x60-2

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ එස්. එස්. සී පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ ඉන්දියාව වාර්තා කළ දැවැන්ත ලකුණු 622ට පිළිතුරු ලෙස ඊයේ දෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 50ක් ලබා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී තවත් කඩුලු 8ක් අතැතිව ලකුණු 572ක් පසුපසින් සිටී. ඉන්දියාව මේ තරගාවලියේදී ජයගත් ගාලු ටෙස්ට් තරගයේදී ද මේ හා සමාන ඉලක්කයක් පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවට ලබා දී තර්ජනයක් එල්ල කළේය.

එස්. එස්. සී පිටියේදී ඉන්දියාව ලැබූ දෙවැනි වැඩිම ලකුණු එකතුව මෙයවූ අතර මෙයට පෙර 2010දී එම්. එස්. දෝනීගේ නායකත්වයෙන් යුතු ඉන්දීය පිල ලකුණු 707ක් වාර්තාකර තිබුණි.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ ආරම්භය සාර්ථක නොවූ අතර දෙවැනි ඕවරයේදීම ආරම්භක පිතිකරු උපුල් තරංග බිංදුවට දැවීගියේ අශ්වින් එවූ පන්දුවකට ‘ෂෝට් ලෙග්’ හී පන්දු රැකි කේ. එල්. රාහුල් අතට උඩ පන්දුවක් දෙමිනි. දිනයේ තර්ජනකාරී මෙන්ම සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ අශ්වින් එවූ පන්දුවකට දිමුත් කරුණාරත්න පළමු ‘ස්ලිප්’ හී සිටි රහනේ අතට උඩ පන්දුවක් දී ලකුණු 25කට දැවී ගියේය.

අංක එක පිතිකරු කුසල් මෙන්ඩිස් (නොදැවී 16) සමග එක්වූ නායක චන්දිමාල් (නොදැවී 8) ලබා පිටියේ රැදී සිටී. මේ තත්ත්වය මත ශ්‍රී ලංකා පිලට අද දිනය ඉතා තීරණාත්මකවී ඇත. ප්‍රබල ඉන්දීය පන්දු යවන්නන් හමුවේ සැලසුම් සහගත නොවුණහොත් මේ තරගයේ ඉරණම ඉතා දරුණු එකක් බවට පත්වීම වැළැක්විය නොහැක.

ඉන්දියාව පළමු දිනය නිමාවෙද්දී කඩුලු 3කට ලකුණු 344ක් ලබා ස්ථාවර ආරම්භයක පසුවූ අතර ඊයේ දිනයේ ඕවර් 70ක් තුළදී තවත් ලකුණු 278ක් ලකුණු පුවරුවට එක්කර ගත්තේය. ඉන්දීය ඉනිම ශක්තිමත් කිරීමට සෑම පිතිකරුවෙකුම කැපවී ක්‍රීඩා කළ අතර ශතක 2ක් හා අර්ධ ශතක 4ක් ලකුණු පුවරුවේ දිස්විය.

පෙරේදා දිනයේ සතර අතට පහර එල්ල කළ පුජාරා ඊයේ තරගය ආරම්භවී දෙවැනි ඕවරයේදී ලකුණු 133ක් ලබා සිටියදී දිමුත්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියේය. සිය 50වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ චෙටර්ස්වර් පුජාරා 13වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ අතර පන්දු 232කට මුහුණදී හතරේ පහර 11ක් හා හයේ පහරක් එල්ල කළේය. පුජාරා හා රහනේ අතර සිවුවැනි කඩුල්ලට ලකුණු 217ක සම්බන්ධතාවක් ගොඩ නැගුනු අතර එය ඉන්දීය ඉනිමේ ශක්තිමත්ම බැදීමක් ලෙස සටහන් විය.

පුජාරා දැවීගොස් ටික වේලාවකින් 9වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ රහනේ ලකුණු 132ක් ලබාසිටියදී මලින්ද පුෂ්පකුමාරගේ මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ස්ටම්ප් කිරීමට හසුව දැවී ගියේය. ඔහු පන්දු 222කට මුහුණදී හතරේ පහර 14ක් එල්ල කළේය. සිය 51වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රවිචන්ද්‍රන් අශ්වින් තම 11වැනි අර්ධ ශතකය රංගන හේරත්ගේ පන්දුවකට එල්ල කළ යෝධ හයේ පහරකින් වාර්තා කළ අතර ලකුණු 54දී හේරත්ගේ ඊළඟ පන්දුව කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් අශ්වින් දැවී ගියේය.

ඉන්දීය ලකුණු පුවරුව 600 පසු කිරීමට දායකවූ රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 70ක් රැස්කළ අතර ඔහු සමග 8වැනි කඩුල්ලට ලකුණු 72ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කඩුලු රකින ක්‍රීඩක ෂහා සමත් විය. ෂහා, හේරත්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරදීමට යද්දී ලකුණු 67කට දැවී ගිය අතර එය ඔහුගේ පස්වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස වාර්තා විය.

පන්දු යැවීමේදී හේරත් කඩුලු 4ක්, ටෙස්ට් වරම් දිනූ මලින්ද පුෂුපකුමාර කඩුලු දෙකක්, දිමුත් හා දිල්රුවන් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. පෙරේදා දිනයේ අවසන් ඕවර කිහිපය යවමින් සිටියදී කකුලේ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් ඊයේ දිනයේ පිටියට නොපැමිණි අතර, දැනට ඇති තත්ත්වය මත මේ තරගයේදී නුවන්ගේ පන්දු යැවීමේ හැකියාව සැක සහිත බව පැවැසේ.

අද තරගයේ තෙවැනි දිනයයි.

make-money-468x60-2