‘‘නිසැකවම පළි ගන්නවා..‘‘ – උතුරු කොරියාවේ ප්‍රකාශයෙන් ඇමරිකාව තිගැස්සෙයි..!

පසුගිය සෙනසුරාදා ආරක්ෂක මණ්ලයේදී උතුරු කොරියාවට එරෙහිව ගෙනඑනු ලැබූ නවතම සම්බාධක ඒකමතික ඡන්දයෙන් සම්මත විය. ජූලි මාසයේදී උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ද්විත්වයක් අත්හදා බැලීමත්, එම මිසයිල ඇමෙරිකාවට වුවද පහරදීමට තරම් ප්‍රබල අවි බවත් උතුරු කොරියාව පැවසීමත් සමග මෙම නවතම සම්බාධක ඔවුන් වෙත පනවනු ලැබිණි.

කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වන උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩපිළිවෙළ තහනම් කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉදිරියේ තම රටට එරෙහිව දැඩි සම්බාධක ගෙනඒමට කටයුතු කළ ඇමෙරිකාවෙන් පළිගන්නා බව අවධාරණය කරයි.මෙම සම්බාධක පැනවීම උතුරු කොරියාවේ ස්වෛරීභාවය දරුණු උල්ලංඝනයකට ලක්කිරීමක් බව ප්යොන්ග්යැන් පාලනය කියයි.

එමෙන්ම තම රටේ ආරක්ෂාව වෙනුවෙන් අත්හදා බලන මිසයිල පද්ධතිය සාකච්ඡා මේසයක් මත දියාරු කර හැරීමට තමන් කිසිසේත්ම සූදානම් නොමැති බවත්, ලෝක බලවතුන්ගේ සම්බාධක ඉදිරියේ දණ නොනමන බවත් ප්යොන්ග්යැන් පාලනය සපථ කර තිබේ.

උතුරු කොරියාවට පනවනු ලැබූ මෙම සම්බාධක හේතුවෙන් එරට අපනයන ආදායම තුනෙන් එකකින් අඩුවන බව සඳහන් වෙයි.