“කැලෑ නීති එපා” – යතුරුපැදිකරුවන් කොළඹට

යතුරුපැදිවලට නව උපාංග සවි කිරීමට එරෙහිව රජය මගින් පනවා තිබෙන දඩ ක්‍රමයට විරෝධය පළ කරමින් ඒකාබද්ධ උද්ඝෝෂණයක්‌. හෙට (13 දා) කොළඹ ගාලුමුවදොර අබියසදී පැවැත්වීමට සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය තීරණය කර ඇත.

‘යකඩ හීන තැලීම නවත්වනු’ යන තේමාව යටතේ පවත්වනු ලබන මෙම උද්ඝෝෂණය සඳහා සියලුම යතුරුපැදි, ත්‍රිරෝද රථ, බස්‌, ලොරි රථ හිමියන් එක්‌වන බව යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා පැවසීය.

යතුරුපැදි සඳහා ඇලෝයිවීල්, බොඩි කිට්‌, සයිලන්සර්, ස්‌ටිකර්, අලුත් එල්. ඊ. ඩී. පහන් ඇතුළු උපාංග සවි කිරීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙන බව ද ලේකම්වරයා කීවේය.

මෙම නව උපාංග සවිකරන යතුරුපැදිකරුවන්ට රුපියල් පනස්‌ දහසේ සිට රුපියල් ලක්‌ෂ තුන දක්‌වා දඩ නියම කර ඇති බව ද එය රටේ තරුණයන්ට එරෙහිව කරන මර්දන පිළිවෙතක්‌ බව ද සඳහන් කළ අමරසිංහ මහතා ඊට එරෙහිව උද්ඝෝෂණය සංවිධානය කර ඇති බව ද සඳහන් කළේය.