බිත්තරවලින් වකුගඩු ආබාධ – ලොව කැළඹෙයි

මිනිස්‌ සිරුරට හානිකර බව හඳුනාගෙන ඇති සතුන්ගේ ඇඟෙහි වසන මකුණන් හා මැක්‌කන් විනාශ කිරීමට යොදනු ලබන කෘමිනාශකයක්‌ අඩංගු බිත්තර මිලියන ගණනක්‌ යුරෝපයේ රටවල් 10 ක පාරිභෝගිකයන් අතර බෙදාහැර ඇතැයි යුරෝපා කොමිසම මඟින් අනාවරණය කර තිබේ.

නෙදර්ලන්තයේ නිෂ්පාදිත බිත්තර තොගයක මෙසේ “ප්‍රොනිල්” නමැති කෘමිනාශකය අන්තර්ගතව ඇති බව පරීක්‌ෂණවලදී තහවුරු කරගෙන ඇති අතර මෙය අනාවරණය වීමත් සමඟම ජර්මනිය, එක්‌සත් රාජධානිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය, රුමේනියාව, ස්‌විට්‌සර්ලන්තය, ඩෙන්මාර්කය හා ලක්‌සම්බර්ග් යන රටවල් නෙදර්ලන්තයේ කුකුළු ගොවිපළවල නිෂ්පාදිත ආසාදිත බිත්තර මිලියන ගණනක්‌ සුපිරි වෙළෙඳසල් වලින් ඉවත් කිරීමටත් ඒවා විනාශ කිරීමටත් පියවර ගෙන තිබේ.

කෙසේ වුව ද දැනටමත් මෙම කෘමිනාශකයෙන් ආසාදිත බිත්තර ටොන් 20 ක්‌ ඩෙන්මාර්කයේ ද මිලියන 10 ක්‌ ජර්මනියේ ද ලක්‌ෂ 07 ක්‌ එක්‌සත් රාජධානියේ ද පාරිභෝගිකයන් අතර බෙදාහැර ඇතැයි වාර්තා වේ.

මෙම කෘමිනාශකය අන්තර්ගත බිත්තර අනුභව කිරීමෙන් මිනිසුන්ගේ වකුගඩු, අක්‌මාව හා තයිරොයිඩ් ග්‍රන්ථියට දැඩිසේ හානි සිදුවිය හැකි බව වෛද්‍ය මතයයි.

“µsප්‍රොනිල්” කෘමිනාශකය පූසන්, බල්ලන් වැනි සතුන්ගේ ඇඟෙහි වසන මැක්‌කන් හා වෙනත් සතුන්ගේ රතු පැහැති උකුණන් විනාශ කිරීම සඳහා යොදනු ලැබේ. එහෙත් එය කුකුළන් ඇතුළු මිනිස්‌ පරිභෝජනයට ගන්නා සතුන් සඳහා භාවිත කිරීම යුරෝපා කොමිසම මඟින් තහනම් කර ඇත.

මෙම කෘමිනාශකය බිත්තරවල ඵලදායිතාව වර්ධනය කිරීමේ අරමුණින් නෙදර්ලන්තයේ ‘චික්‌ෙµ්‍රන්ඩ්’ නමැති කුකුළු නිෂ්පාදන සමාගම කුකුළන්ට සත්කාර කිරීමේදී යොදා ඇති බව අනාවරණය වී ඇත. මේ බව සනාථ වීමත් සමඟම නෙදර්ලන්තය හා බෙල්ජියම මෙයට වගකිවයුත්තන් සොයා සාපරාධී ක්‍රියා විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

නෙදර්ලන්තයේ කුකුළු බිත්තර නිෂ්පාදන සමාගම මෙම බිත්තර අර්බුදය හටගැනීමත් සමඟම සිය කුකුළු ගොවිපළ 180 ක්‌ තාවකාලිකව වසා දමා ඇත.

අදාළ කෘමිනාශකයෙන් ආසාදිත බිත්තර හඳුනාගන්නා රටවල් ඒ පිළිබඳව වහාම යුරෝපා කොමිසමට දැනුම් නොදෙන්නේ නම් එම රටවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද කොමිසම සිය සාමාජික රටවලට දැනුම්දී තිබේ.

එක්‌සත් රාජධානිය දැනටමත් නෙදර්ලන්තයේ නිෂ්පාදිත බිත්තරවලට අමතරව ඒවා යෙදූ සැන්ඩ්විචස්‌ හා සලාද වර්ග ද සුපිරි වෙළෙඳසල්වලින් ඉවත් කර තිබේ. මෙම ආසාදිත බිත්තර මිලියන ගණනක්‌ විනාශ කිරීමට නෙදර්ලන්තය හා ජර්මනිය දැනටමත් පියවර ගෙන තිබේ.