සබීතා යළිත් සිනමාවේ ‘මහරජ අජාසත්’ සමඟ…

“බෞද්ධ සාහිත්‍යයේ එන අමරණීය චරිතයක් වන ඛේමා බිසවගේ චරිතය රඟපාන්න ‘ මහරජ අජාසත්’ චිත්‍රපටයෙන් මට අවස්ථාව ලැබීම ගැන මම බොහෝ සතුටට පත්වෙනවා. චිත්‍රපටය දකිද්දි මට හිතෙනවා මගේ රඟපෑම සාර්ථක බව. ප්‍රේක්ෂකයනුත් එය පිළිගන්නා බව පෙනෙනවා.”

මෙසේ කියන්නේ සුනිල් ටී. ප්‍රනාන්දුගේ 60 වෙනි චිත්‍රපටය වන. ‘මහරජ අජාසත්’ චිත්‍රපටයේ රඟපාන ප්‍රවීණ නිළි සබීතා පෙරේරායි. මෙවැනි චිත්‍රපට අධ්‍යකෂණය කිරීමෙන් තමන් නිවන් දකින බව අධ්‍යක්ෂ සනත් අබේසේකර කියා තිබූ අතර එම ප්‍රකාශ ඇතැමුන් හාස්‍යයෙන් බැහැර කළ අතර ඇතැමුන් විසින් එම ප්‍රකාශය බුද්ධාගමට කළ අපහාසයක් ලෙස අර්ථ දක්වනු ලැබීය. කෙසේ වෙතත් එදා ජෝ මයිකල් අධ්‍යක්ෂණය කළ ආදායම් වාර්තා තැබූ ‘අජාසත්ත’ චිත්‍රපටයේ සුමනා අමරසිංහ (මතක හැටියට) රඟපෑ චරිතය මෙදා රඟපාන සබීතා පෙරේරාගේ රංගනයට නම් කිසිවෙකුත් දෝෂාරෝපණය කර නැත.

නිල් කාන්තී දෑසේ

දැක්කාට පස්සේ

නිවේ තාරකා ආකාසේ යනුවෙන් එච්. ආර්. ජෝතිපාලයන් එදා ගායනා කළේ සබීතා පෙරේරාගේ මුල්ම චිත්‍රපටය වන ජේ. සෙල්වරත්නම් හැදූ ‘ සබීතා’ චිත්‍රපටය වෙනුවෙනි. නිල්වන් සුන්දර දෑසක් සහිත නිළිය ලෙස ප්‍රේක්ෂක හදවත් එක රැයින් වැළඳගත් සබීතා ඉන් පසුව මෙරට පමණක් නොව පාකිස්තානයේද ජනප්‍රිය නිළියක බවට පත් වූයේ එහි චිත්‍රපටවලද දක්ෂ ලෙස රඟපෑමෙනි. උපාලි ජයසිංහ සමග විවාහයෙන් පසුව කලක් නිහඬව සිටි සබීතා සිය පුත් චන්දූප තරමක් දැනුම්තේරුම් වෙද්දි යළි රංගනයට ආවේ ‘ අබා’ තුළිනි. මහරජ අජාසත්’ට පසුව ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයෙන් ඇගේ රඟපෑම් යළි දැකගත හැකිය.

“ඛේමා බිසවගේ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ මම රඟපාන්නේ. මේ වගේ වෙනස් චරිත ලැබීම සතුටක්. කොහොමත් මගේ සිනමා ජීවිතේදී මට හැම කාලෙම වගේ වෙනස් චරිත රඟපාන්න ලැබුණා. විවිධ අධ්‍යක්ෂවරුන් රාශියක් යටතේ රඟපාන්න ලැබුණා. ඒක භාග්‍යයක්. ඒ වගේම සුනිල් ටී හා සෝනියාගේ ‘ මමයි රජා’ චිත්‍රපටයේ සෙල්ලක්කාර තරුණියකගේ චරිතයක් රඟපෑ මම අද සුනිල් ටී ගේම ‘මහරජ අජාසත්’ චිත්‍රපටයේ තැන්පත් රජ බිසවකගේ චරිතයක් රඟපානවා. ජීවිතවල ගලා යාමත් මේ සිදුවීම් වගේමයි.” සබීතාගේ අදහස් එසේයි.

සබීතාගේ සිනමා ගමන්මගේ එක් එක් යුගවලදී සිනමාවේ සිටි ඇතැම් අය අද ආගිය අතක් නැත. දේශපාලනයට ගිය බොහෝ අයටද අද ඇඩ්‍රස් නැති වෙලාය. කාට කෙසේ වුවත් ‘වර්ණකුලසූරිය ඔස්වත්ත ලියනගේ සබීතා ජානකී පෙරේරා’ට නම් සිංහල සිනමා ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත අදටත් වෙනස් වී නැත.

Leave a Reply