ඉන්දියාවත් රොහින්ග්‍යාවරු පිටුවහල් කිරීමට සැරසෙයි

ඉන්දියාව තුළ නීතිවිරෝධී අයුරින් රැඳී සිටින රොහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව එරටින් පිටුවහල් කිරීම සඳහා ඉන්දීය රජය සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ අනුව, ඉන්දියාව පුරා විවිධ ප්‍රාන්තවල නීතිවිරෝධීව රැඳී සිටින රොහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව හඳුනාගැනීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් ඇති කරමින්, එම ක්‍රියාවලිය හරහා එම පිරිස් රටින් පිටුවහල් කිරීම ඇරඹෙන බව සඳහන් වෙයි.

මේ පිළිබඳ අදහස් දක්වන ඉන්දීය අමාත්‍ය කිරන් රිජීජු පවසන්නේ විවිධ විදෙස් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉන්දීය රජයටද රොහින්ග්‍යාවරුන්ට හිංසා පමුණුවන බවට නිර්දය විවේචන එල්ල කරන බවයි. නමුත්, ඔවුන් ඉන්දියාවේ සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන් බවත්, ඔවුන්ට ඉන්දියාවේ රැඳී සිටීමට කිසිදු ආකාරයද නීතිමය හැකියාවක් නොමැති බවත් අමාත්‍යවරයා පවසයි.

නමුත්, ඉන්දියාව කිසිම ආකාරයකින් ඔවුන් මුහුදට වීසිකිරීමක් හෝ වෙඩි තබා ඝාතනය කිරීමක් සිදුනොකරන බව පවසන අමාත්‍යවරයා, ඔවුන් සියලු දෙනා රටින් පිටුවහල් කිරීම පමණක් සිදුකරන බව අවධාරණය කරයි.

මියන්මාරයේ රඛයින් පළාතේ වෙසෙන රොහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව බංග්ලාදේශය වෙත පළායමින් යමින් සිටින අවස්ථාවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මියන්මාරයේ දින දෙකක සංචාරයක් සිදුවන පසුබිමක මෙම කතාබහ ඉන්දියාවේදී ඇතිවීමද විශේෂත්වයකි.

මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පවසා සිටියේ රඛයින් පළාතේ ආරක්ෂක අංශ ඉලක්ක කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව මියන්මාරය සමග එක්ව අවධානය යොමුකරන බවයි.

මියන්මාරයේ රොහින්ග්‍යාවරු සම්බන්ධ අර්බුදය ඇති කරමින්, එම ඉස්ලාමීය අන්තවාදී කොටස් විසින් එරට පොලිස් මුරපොළ 30ක් වෙත ප්‍රහාර එල්ල කරමින් ආරක්ෂක අංශ සාමාජිකයන් 12 දෙනෙකු ඝාතනය කිරීමේ පසුබිම තුළ එරට ආරක්ෂක අංශ ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් ආරම්භ කර තිබුණි.

නමුත්, මෙම මෙහෙයුම් නිසා සාමාන්‍ය වැසියන් දහස් ගණනින් රඛයින් පළාත අත්හැර යළි බංග්ලාදේශය වෙත පළායමින් සිටි අතර, එම පළාතේ සිටි බෞද්ධ ජන කණ්ඩායම්ද ගැටුම් හේතුවෙන් පළාත අත්හැර ගොස් තිබුණි.

කෙසේ වෙතත්, මෙම අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මෝදි පවසන්නේ අන්තවාදීන්ගේ ක්‍රියාවන් අතරට අහිංසක මිනිසුන් මැදැවීම කනගාටුදාක බවයි.

එහිදී, මියන්මාරයේ නිල නොලත් නායිකාව ලෙස ප්‍රකට අවුන්ග් සාන් සුඛි ඉන්දීය අගමැති මෝදි උණුසුම් අයුරින් පිළිගනිමින් කියා සිටියේ තම භූමියෙන් ත්‍රස්තවාදී මුල් උදුරා දැමීම සඳහා අසල්වැසියෙකු ලෙස ඉන්දියාවේ සහාය මේ අවස්ථාවේදී හිමිවීම සුවිශේෂී බවයි.

විශේෂයෙන්ම රොහින්ග්‍යා අර්බුදය හමුවේ බොහෝ සාවද්‍ය තොරතුරු අයිස් කන්දක් ආකාරයෙන් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව අවධාරණය කළ සුඛී, තම රටට හෝ තමන්ට මානව හිමිකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් උපදෙස් අවශ්‍ය නොවන බවත්, එය තමන් මෙන්ම තම රටද කාටත් වඩා හොඳින් දන්නා බවත් අවධාරණය කර තිබුණි.