මට ඕන වුණේ පූර්ණිමාව පෝරුවේ තියලා කුමාරියක් වගේ කවදා හරි අපේ ගෙදරට කැන්දගෙන යන්න

make-money-468x60-2

“මොකක්ද මචං වුණේ?”
“කෙල්ලෙක්වත්
ඉස්සුව ද?”……
මෙලෙස විවිධ ප්‍රශ්න අසමින් ඔවුහු සමීර වටකරගත්හ. හිර ගෙදරට ආගන්තයකු වූ සමීරට මෙය මහත් කරදරයක් විය. ඔවුන් දිහා සමිර බලාගෙන හිටියේ විමතියෙනි.
සමීර කිසිත් නොදඩා නිහඬව සිටියේය. කවදාවත් හිර ගෙදරට පය නොගැසූ සමීරට අනපේක්ෂිත මොහොතක හිරේ එන්නට වීම ගැන හිතේ තිබුණේ කනගාටුවකි. දවසක් දෙකක් යනතුරුම ඔහු හිටියේ බයබිරාන්තවය. කාලය ගෙවී යද්දී සමීරට හිරගෙදර පුරුදු තැනක් විය. තමන් හිරගෙදර ගතකළ ඒ ජීවිතය පිළිබඳ ඔහු අදත් කතා කරන්නේ කනගාටුවෙන්ය.
“මම අවුරුදු දෙකක් හිරේ හිටියා. ඒ දෙක මට දැනුනේ අවුරුදු දහයක් වගේ. මම හුඟක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ඒක මගෙ මහා කරුම කාලයක් කියලයි මම හිතන්නේ. නමුත් මගේ ගෙදර අය මාව අත්හැරියේ නැහැ.
ඒ නිසා මට මගේ හිත හදාගෙන ඉන්න පුළුවන් වුණා. මගෙ තාත්තා තමයි මට තිබුණ එකම හයිය. අම්මා හුඟක් අසරණවෙලා හිටියේ. මම හිරේ ආව එක අම්මට දරා ගන්න බැහැ. එයා ලෙඩ වුණා. එත් මගේ තාත්තා හැම මාසයකම මාව බලන්න ආවා. තාත්තව දැක්කම මගේ ඇස් දෙකේ කඳුළු පිරුණත් තාත්තා එයාගේ හිනාවෙන් මගේ කඳුළු පිහලා දැම්මා. තාත්තා ගියාට පස්සේ මම වරු ගනන් කල්පනා කළා මට වෙච්ච දේ ගැන.”

හිර ගෙදර එන්න හේතුව මොකක්ද?
“මම ඉස්කොලේ යන කාලේ ඉදලා ගැනු ළමයෙක්ට ආදරේ කළා. ඒ ළමයා දුප්පත් ළමයෙක්. මම හිතුවා ඒ ගෙදර මිනිස්සු හරිම අහිංසකයි කියලා.නමුත් මට සිද්ධ වුණේ කවුරුත්ම නොසිතපු දෙයක්. අපේ තාත්තා ව්‍යාපාරයක් කරගෙන ගියා.
අක්කයි මමයි දෙන්නම ඒකට උදව් කළා. මම යාළුවෙලා හිටිය ගෑනු ළමයගෙ නම පුර්ණිමා.
එයා හරි අහිංසක ගෑනු ළමයෙක්. ඒ වුණාට එයාගේ අම්මයි අයියයි නම් මහ කපටියි. මට ඒ බව තේරුණේ හුඟක් කල් ගිහිල්ලා. මම ඉදලා හිටලා නිවාඩු තියෙන වෙලාවට පුර්ණිමාලගෙ ගෙදර ගියා එයාව බලන්න.
නමුත් අපේ ගෙදරින් මගේ මේ සම්බන්ධය දැන ගත්ත වෙලාවේ තාත්තා හුඟක් විරුද්ධ වුණා. මම ඒ කෙල්ලව බඳීනවානම් මට කිසිම දෙයක් දෙන්නේ නැහැ කියලා තාත්තා මට කිව්වා.
මම තාත්තාට කිව්වේ මේ කිසිම දෙයක් මට එපා කියලා. එදා අම්මා මට ගැහුවා මම තාත්තා එක්ක කට ගහගෙන යනවා කියලා.
ඒවුණාට කිසිම දෙයක හරි වැරැද්ද තේරුම් ගන්න බැරි කාලයක හිටියේ. අපේ ගෙදර අයත් එක්ක හිත හොඳ නැති වෙන්න වෙන්න මම පුර්ණිමාගේ ගෙදර අයට ළං වුණා.”

මොකක්ද වුණේ ?
“මම දැන ගෙන හිටියේ නැහැ පුර්ණිමාට එයාගේ අම්මලා නෑදැයෙක් වෙන තරුණයෙක්ව හොයලා තියෙන බව .
පුර්ණිමා මට ඒ ගැන කිව්වෙත් නැහැ. මම පුර්ණිමා අහිංසකයි කියලා මම එහෙම හිතුවට එයා ඇතුළු එයාගේ මුළු පවුලේම අය මාව රැවැට්ටුවා.”

ඒ කියන්නේ.?
“මම සතියට දෙතුන් වතාවක් පුර්ණිමාලගෙ ගෙදර ගියා. ඒ ගියාම ගෙදර වැඩිහිටියෝ අපිව මඟ හැරලා යනවා.
මම පුර්ණිමාගේ කාමරයට යනවා. මම මගේ සිමාව දැනගෙන තමයි පුර්ණිමා එක්ක හිටියේ.
මට ඕන වුණේ එයාව පෝරුවේ තියලා කුමාරියක් වගේ කවදා හරි අපේ ගෙදරට කැන්දගෙන යන්න. මම දවසක් පුර්ණිමාගේ ගෙදර ගියාම එයාගේ අම්මා මට හොඳටම දොස් කිව්වා. මම එයාගේ දුව ව අමාරුවේ දැම්මා කියලා.
නමුත් මම එහෙම දෙයක් කළේ නැහැනේ. මම ඒබව එගොල්ලන්ට කිව්වා. කවුරුවත් පිළිගත්තේ නැහැ. පුර්ණිමා හැමෝම ඉස්සරහා කිව්වේ මම එයාට බලහත්කාරකම් කලා කියලා.එයාගේ ගෙදර අය ඒක විශ්වාස කළා.
මම කියන කිසිම දෙයක් ඒ ගෙදර අය පිළිගත්තේ නැහැ. අන්තිමට පුර්ණිමාගේ රස්තියාදුකාර අයියයි ම‍ට කිව්වේ මේ හැමදේකින්ම බේරෙන්න නම් ඒ ගොල්ලන්ට ලක්ෂ දහයක් දෙන්න කියලා. මට ඒතරම් සල්ලි තිබුණේ නැහැ. මට තාත්තගෙන් ඉල්ලන්නත් බැහැ. මම අන්තිමට පොරොන්දු වුණා ඒ ගොල්ලන්ට රුපියල් ලක්ෂ දෙකක් දෙන්න.”

පුර්ණිමාව බඳින්න හිටියා නම් මොකටද සල්ලි දෙන්න පොරොන්දු වුණේ?
“මම හොඳටම දන්නවා මම නිසා පුර්ණීමාට කරදරයක් වුණේ නැහැ කියලා. ඉතින් මට ඕන වුණේ මේ බොරුවෙන් ගැලවෙන්න.
ඒ නිසා මම සල්ලි දෙන්න පොරොන්දු වුණේ. ඒත් ඒ ගොල්ලෝ මට බොරුකරන බව තේරුණා.
මේ වෙච්චදේ තාත්තට කියන්න මට බය හිතුණා. මම මුලින්ම අක්කට කිව්වා. අක්කා කිව්වා ඔයා වරදක් කළේ නැත්නම් තාත්තාට කියමු කියලා.
මම ලක්ෂ දෙකක් දුන්නට පස්සෙත් එයාගේ අයියා මට කරදර කරන්න ගත්තා. පස්සේ තමයි මේ බොරුව කරලා තියෙන්නේ පුර්ණිමා එයාගේ අයියගෙ අනුදැනුම මත කියලා.
කොහොම හරි පුර්ණිමාගේ අම්මා මට විරුද්ධව පොලිසී ගියා. පොලීසියෙන් අපේ ගෙදරට ආවාම මට හැමදේම ගෙදර අයට කියන්න වුණා. මොනවා වුණත් මගෙ තාත්තා මාව විශ්වාස කළා.නඩුව දිගින් දිගට ගියා.

අන්තිමට මට අවුරුදු අටක සිර දඩුවමක් නියම වුණා. එත් තාත්තා මට කිව්වේ බය නැතිව හිරේ යන්න එයා මාව බේර ගන්නවා කියලා. තාත්තා ආයෙමත් නඩුව ඇපිල් කළා.
ඉහළ පෙලේ නිතීඥයෙක් ඇල්ලුවා. නඩුව ඇදි ඇදි ගියා. මම හිරේ හිටපු කාලේ පුර්ණිමාට දරුවා ලැබුණා. ඩීඑන් ඒ පරීක්ෂණයෙන් ඔප්පු වුණා දරුවගේ පියා මම නොවෙයි කියලා.
මගේ නිතීඥයා තාත්තට කිව්වා අපහාසය වන්දියක් ගන්න පුළුවන් කියලා. තාත්තා කිව්වේ සත පහක්වත් ඒ මිනිස්සුන්ගෙන් අපට එපා කියලා කොහොම හරි අවුරුදු දෙකකට ආසන්න කාලයක් මට හිරේ ඉන්න වුණා. ඇත්තම කිව්වොත් මගේ තාත්තා නැත්නම් මම තාමත් හිරේ. අද තමයි මම එළියට ආ දවස. දැන් මගෙ හිතට පුදුම නිදහසක් දැනෙනවා.”

පූර්ණිමා ගැන මොකද හිතෙන්නේ. ?
“මට දැන් එයා ගැන මුකුත්ම හිතන්නේ නැහැ. මම එයාට අවංකවම ආදරේ කළා. නමුත් එයා මාව රැවැට්ටුවා. එයා තවත් රැවටිලිකාර ගැහැනියක් පමණයි මට. මං ආයේ කවදාවත් මගෙ තාත්තාට අම්මාට පිටින් යන්නේ නැහැ. ”

make-money-468x60-2