සිල්රෙදි බෙදීම මහින්දගෙ සැලසුම් සහගත වංචාවක්

සිල් රෙදි බෙදීමේ සිද්ධියේ වගකීම අධිකරණ ක්‍රියාවලිය යන අතරතුර භාර නොගත් හිටපු ජනාධිපතිවරයා තීන්දුව දුන් පසු එහි වගකීම භාර ගැනීමෙන් පැහැදිලි වන්නේ මහින්ද රාජපක්‍ෂත් ලලිත් වීරතුංගත් මෙය ඉතාම සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ බව යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විජිත හේරත් මහතා මෙසේද කීය.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව රාජ්‍ය නිලධාරියා කවුරුන්ද යන්න පැහැදිලිව අර්ථකථනය කොට තිබෙනවා. 19 වැනි ව්‍යවස්‌ථාව කියවන්න කියලා අපි මහින්ද රාජපක්‍ෂට කියනවා. 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අනුව ජනාධිපති ලේකම් රාජ්‍ය නිලධාරියෙක්‌. 19 සංශෝධනයට පෙර වුවත් ජනාධිපති ලේකම්වරයාට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව කටයුතු කළ නොහැකියි. ඔහුට ජාත්‍යන්තර නීතියවත් කඩ කරන්න බැහැ. ලිත නීතියක්‌ අනුව කටයුතු කළ යුතුයි. ඒ නිසා මහින්ද රාජපක්‍ෂලාට ව්‍යවස්‌ථාව පිටින් දාලා අල්ලස්‌ දීමේ වරදින් බේරෙන්න පුළුවන්කමක්‌ නැහැ. අද තිබෙන ප්‍රශ්නය ලලිත් වීරතුංග ව්‍යවස්‌ථාවට අනුව හොරෙක්‌ද ව්‍යවස්‌ථාවට පටහැනි හොරෙක්‌ද යන්න නෙවෙයි. ඔහු රාජ්‍ය සේවකයෙක්‌ නොවෙයි කියනවා නම් ඔහුට සාමාන්‍ය පුද්ගලයෙක්‌ ලෙස ටී.ආර්.සී. එකෙන් මිලියන 600ක්‌ අරගෙන සිල් රෙදි බෙදන්න පුළුවන්ද? ඒ වගේම මහින්ද රාජපක්‍ෂ කියනවා මේක ආණ්‌ඩුවේ ප්‍රතිපත්තියක්‌ අනුව ක්‍රියාත්මක වුණා කියලා. ආණ්‌ඩුවේ ප්‍රතිපත්තියක්‌ නම් එය අයවැය ප්‍රකාශයට ඇතුළත් විය යුතුව තිබෙනවා. නමුත් අයවැය ප්‍රකාශනවල එය යෝජනාවක්‌ ලෙස සඳහන් වෙන්නේ නැහැ. ඒවගේම ටී.ආර්.සී. එක අදාළ වර්ෂයන් සඳහා ඉදිරිපත් කරන ක්‍රියාකාරී සැලැස්‌මේ එම ව්‍යාපෘතිය යෝජනාවක්‌ ලෙස සඳහන් කළ යුතුව තිබෙනවා. නමුත් මේ කිසිදු ලියවිල්ලක සිල්රෙදි බෙදීමේ ව්‍යාපෘතිය යෝජනාවක්‌ ලෙස සඳහන් නොවන බව අධිකරණයේදී ඔප්පු වුණා..

ඒ නිසා රාජ්‍ය මුදල් අවභාවිතයක්‌ සිදු වූ බව ඉතා පැහැදිලියි. තීන්දුව දුන්නට පස්‌සේ මහින්ද රාජපක්‍ෂ කියනවා වගකීම භාර ගන්නවා කියලා. නමුත් අධිකරණ ක්‍රියාවලිය යන අතරතුර එම වගකීම භාර ගත්තේ නැහැ. ඒ නිසා ඉතාම පැහැදිලියි, මහින්ද රාජපක්‍ෂත් ලලිත් වීරතුංගත් මෙය ඉතාම සැලසුම්සහගතව ක්‍රියාත්මක කළා කියලා.