යුධ අපරාධ චෝදනා එල්ල කරන්නේ යහපාලන රජයේ උත්තේජන නිසයි

make-money-468x60-2

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මහතා ශ්‍රී ලංකාවට දිගින් දිගටම යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් බලපෑම් කරන්නේ යහපාලන රජය ලබාදෙන. උත්තේජන නිසා යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක සහ මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ජාත්‍යන්තරය නඟන යුද අපරාධ චෝදනා පිළිබඳව පිළිතුරු දෙනවා වෙනුවට වත්මන් රජයේ නියෝජිතයන් ඒවා පිළිගන්නා ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම කනගාටුවක්‌ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ජගත් ජයසූරිය මහතා යුද අපරාධ කළැයි පැවසීම බරපතළ ප්‍රකාශයක්‌ බවත් එය නිවැරදි කිරීමට රජය මේ වනතෙක්‌ කටයුතු කර නැති බවත් ගුණවර්ධන මහතා පැවැසීය.

රණවිරුවන් විදේශ අධිකරණවලට හෝ දංගෙඩියට යවන්නේ නැතැයි ජනාධිපතිවරයා මාධ්‍ය ඉදිරියේ සඳහන් කළද ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය මෙසේ නම් රණවිරුවන් දංගෙඩියට යැම අනිවාර්යවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා රජය යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම ප්‍රමාද කර ඇති බවත් සහ එය වේගවත් කළ යුතු බවත් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරයා කර ඇති ප්‍රකාශය පිළිබඳව ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමට පිළිතුරු වශයෙන් හෙතෙම එම අදහස්‌ පළ කළේය.

make-money-468x60-2