උදයන්තිට බූට් එකක්

යෞවනයේ පසුවන අතිශය රූමත් ජනප්‍රිය නිළියක වන උදයන්ති කුලතුංග අදත් අවිවාහකව කල දවස ගෙවන්නේ වී නමුදු. ඇ‍ඟේ හදවත පතා ඇයට පෙම් කළ තරුණයන් කිහිප දෙනෙක් ද නොසිටියා නොවේ. එම යටගිය පෙම් මල් සුව‍ඳේ රොන් සුණු තාමත් ඇගේ හදින් වියැකි ගියා ද නොවේ.

උදයන්තිගේ ප්‍රේම චාරිකාව සමරද්දී එහි විශේෂයක් ද කැපී පෙනේ. ඇයගේ අත පතා ඇයට පෙම් කළ තරුණයන් කිහිප දෙනෙක්ම වැදගත් සමාජ පසුබිමකින් යුක්ත වූවන් වීමය. එක්කෝ ප්‍රකට තරුණ මන්ත්‍රිවරයෙකි. එක්කෝ ප්‍රකට දේශපාලනඥයකුගේ කඩවසම් පුත්‍රයෙකි. එක්කෝ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකි. අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රිය වේග පන්දු යවන්නෙකු ද ඇගේ හද පතා ළෙන්ගතුව සිටියේය. තව ද මුහුදුකරයේ ප්‍රකට නගරාධිපතිවරයකුගේ යොවුන් පුත්‍රයකු ඇයට අවංකව පෙම් කළේය. මහරගම සාප්පු හිමියෙක් උදයන්තිගේ අත පතා පැමිණියේය.

ලස්සන නිළියක වූ විට නළුවන්ගෙන් නොයෙකුත් ප්‍රේම ආරාධනා ගලා ඒම ස්වභාවිකය. උදයන්තිට ද ඉන් ගැලවී සිටීමට ද හැකි වූයේ නැත. එහෙත් විශ්වාස කරන්න. ඒ අය අතරින් උදයන්තිගේ හද ඇදී ගියේ එක්තරා කඩවසම් තරුණ නළුවෙකුට පමණි.

උදයන්තිට නොයෙකුත් තෑගි බෝග පිරිනමමින් ඇගේ අත පතා ආදරය කළ මහරගම සාප්පු හිමියා කෙරෙහි ඇගේ හදේ ද ළෙන්ගතුකමක් ජනිත වූයේ වී නමුදු ප්‍රේමයට අප්‍රමාණ බාධක පැන නඟින බව තව දුරටත් සනාථ කරමින් ඔවුන් දෙපළට ද සමුගැනීමට සිදුවිය. එය දෙදෙනාටම කිසියම් වේදනාවකට, පසුතැවීමකට හේතු වුවද පැමිණි දෙයට මුහුණ දීමට හැර වෙන විකල්පයක් ඔවුන්ට නොවීය. ඔහු තෑගි කළ ජංගම දුරකථනය ඇය සෑහෙන කාලයක් යන තුරුම පරිහරණය කළේ පෙම් සිහිවටනයක් ලෙසිනි.

උදයන්ති කුලතුංග තාමත් සිය ජීවන ගමනේ සුවිසල් අත්දැකීම් ලැබුවකු නොව යොවුන් වියේ පසුවන්නියකි. එහෙත් සමහර අය ළඟ නොමැති කිසියම් ප්‍රතිපත්තියක් ඇය තුළ ඇත. එය රංගන දිවියේදී ද එසේමය. චරිත අපේක්ෂාවෙන් තම නමට කැළල් ඇතිවන පරිදි හෝ චරිත ඇවිටිලි කරමින් යාම හෝ ඇගේ ප්‍රතිපත්තිය නොවේ. එමෙන් ම ප්‍රේම ලෝකයේදී ද යම් යම් අවස්ථාවලදී ස්වභාවික ලෙස යම් යම් අය කෙරෙහි ඇගේ හදවත මොහොතකට සසලව ගිය ද… මුලින් ම ප්‍රේමය ප්‍රකාශ කළ යුත්තේ තරුණයා බව ඇගේ ස්ථාවරය වන්නේය.

එමෙන් ම යමකු ඉතා විශ්වාසදායක මෙන් ම අවංක යැයි ඇයට දැනී ගියහොත්, හැඟී ගියහොත් ඇය එම ප්‍රේමය වෙනුවෙන් බොහෝ දේ පරිත්‍යාග කිරීමට හෝ සූදානම්ය. ළද බොලඳ හා පැටවුන් වන් සුරතල් පෙම්වතුන් ඇගේ හද ගන්නේ නැත. ඔහු අනිවාර්යයෙන්ම උගතෙකු විය යුතුය. මනා පෞරුෂයකින් යුක්ත විය යුතුය. පෙම්වතියට ගරු කරන සංවරශීලී පුද්ගලයකු විය යුතුය.

එවන් ගුණාංගවලින් සපිරි කන්ද උඩරට ප්‍රකට මන්ත්‍රිවරයකු උදයන්තිගේ යොවුන් සිත සසල කිරීමට සමත් විය. එම මන්ත්‍රීවරයා අතිශය කාර්යබහුල දේශපාලනඥයකු වුවද නිතර තමා ගැන හොයන තමා වෙනුවෙන් ද කැප වී සිටින සත් ගුණාංගයෙන් යුතු තරුණයකු බව ඇයට ප්‍රත්‍යක්ෂ විය. එබැවින් ඔහුත් ඇයත් අතර අන්‍යෝන්‍ය ප්‍රේමය සිවු වසරක පමණ කාලයක් පැවතුණේය.

එහෙත් වෙනත් අවස්ථාවලදී මෙන් ම වෙනත් ප්‍රේම සම්බන්ධතාවලදී මෙන් ම මෙම තරුණ මන්ත්‍රීවරයා සමඟ පැවැති ආදරය විවාහය දක්වා වර්ධනය වී ගියේ නැත.

“ඇත්තෙන්ම මේ වන විට මගේ හිත ගොඩාක් දුරට කලකිරිලා තිබුණේ. ප්‍රේම සම්බන්ධවලදී එක්කෝ මට හිතෙනවා මොවුන් සමඟ විවාහ වීමට තරම් මට ගැළපෙන්නේ නෑ කියලා. එක්කෝ මම ඉතාම ගරු කරන සමහර ගතිගුණ ඔහුට නැහැ. එක්කෝ දෙමාපියන්ගෙන් බාධක, එහෙම නැත්නම් එයාගේ අයියලා අක්කලා බඳිනකම් දිගු කලක් බලා සිටින්න වෙනවා.”

උදයන්ති මඳක් කලකිරුණු සිතින් පවසමින් යළිත් හඬ අවදි කළාය.

“ඔක්කොටම වඩා මම එක්ක යාළු වෙන්න පැමිණි සමහරු තුළ තිබුණේ එකම එක දෙයයි. ඒ මගේ රූපයට බැඳුණු අසීමිත ආශාවයි, ආදරයයි.”

“ඉතින් හොඳයිනේ. ඔයා ගොඩක් ලස්සනයි ඒ වගේ කෙනකුට ආදරය කිරීම ස්වභාවිකයිනේ.”

“නැහැ. නැහැ. එහෙම වෙන්න බැහැ. රූපය කියන දේ තාවකාලිකයි. දෙන්නගෙම සිත් ඇදි යන පෙනුමක් තියෙන්න ඕන. එහෙත් ඒක නෙවේ ලොකුම හෝ එකම සුදුසුකම…’

“උදයන්ති මම ආසම ඔයාගේ ඇස් දෙකට. උදයන්ති මම ආස ඔයාගේ හිනාවට. මම නම් ආස ඔයාගේ දඟකාරකමට… මෙහෙම සාප්පුවක ප්‍රදර්ශනයට තබා ඇති භාණ්ඩයක මෙන් එක එක අඟපසඟවලට හිත ඇදී යන පෙම්වතුන් තුළ නියම ආදරයක් නැහැ…”

උදයන්තිගේ අදහස සැබැවින්ම අරුත්බර යැයි මට සිතේ. ඇය කෙමෙන් එන්න එන්නම ජනප්‍රිය වූවාය. සිනමාවට, ටෙලි නාට්‍යවලට ඇගේ දායකත්වය අත්‍යවශ්‍ය වන තරමට ඇය ජනප්‍රිය වූවාය.

උදයන්ති එක්වූ ස්වාධීන රූපවාහිනියේ ‘හීන හතක්’ ඇගේ හද තුළ රස පෙම් හීන මැවීමට තරම් වූ වැඩසටහනක් විය. එම වැඩසටහන ජනප්‍රියව පැවැති කාලයේ උදයන්තිව රැගෙන ස්වාධීන රූපවාහිනියට ආව ගියේ මෙරට ජනකාන්ත නළුවෙකි. ඔහු ඉතා කඩවසම් නළුවෙකි. උදයන්තිගේ කලා කටයුතුවලට ඔහු බෙහෙ‍වින් උදව් උපකාර කළේය.

“ඇත්තෙන්ම එයාගේ ගොඩක් ගතිගුණ මගේ හිත් ගත්තා. ඒ වගේම එයා හරි සැහැල්ලුවෙන් විනෝදයෙන් ජීවිතය ගත කරන්නේ. මටත් පුදුම විදියට ආදරය කළා. අපේ අම්මා පවා ඔහුට කැමැත්තෙන් හිටියේ. අපේ ගෙදර ආවාමත් නිතර සින්දු කියනවා. ජෝතිපාල තමයි එයාගෙත් මගෙත් ප්‍රියතම ගායකයා.”

“ඉතාම ළයාන්විත ඔහු මා දිහා බලාගෙන ලස්සනට ගීත ගායනා කරනවා. මම හරි ආසයි, එයා සින්දු කියනවා අහන්න, දකින්න…”

එහෙත් දෙවියෙනි ලොවේ කවුරුත් තමන් ආස කරන දේවල් සපුරා ඉටු වෙනවා නම් මේ ලෝක ඉතිහාසය ලියවෙන්නේ වෙනස්ම ආකාරයකටය. උදයන්තිටත් මෙම ලෝක ධර්මතාවයට මුහුණ දීමට ඇගේ කෙටි ජීවිත කාලයට පුරාම සිදුවිය. මා දන්නා තරමින් යෞවනියකට දරාගන්න බැරි තරමට… යෞවනියකට කෙසේවත් ඔරොත්තු නොදෙන තරමට ඇයට ජීවිතයේ අනන්ත හැලහැප්පීම්වලට මුහුණ දීමට සිදුවිය.

“මගේ ජීවිතයේ වයස අවුරුදු 22 ක කාලය සිටම මම ප්‍රශ්නවලට මුහුණ දුන්නා.”

“දුක හිතුණේ නැද්ද?”

“නැහැයි කිව්වොත් බොරු”

අනන්තවත්ව දුක දරාගෙන ලොවට හොරෙන් මම හඬා වැටුණු වාර අනන්තයි. ඇත්තෙන්ම මම ආදරයට හරිම ආදරෙයි. මම ආදරය පිළිකුල් කරන යුවතියක් නොවේ. මම දන්නවා මේ මගේ යොවුන් දිවියේ මල් පිපී සුවඳ හමන කාලය. මාත් ඒ කාලේ ආදර සුවඳ වින්දා. එහෙත් සියල්ල කෙළවර වූයේ අහිමි වූයේ දුකින් වේදනාවෙන්.”

උදයන්ති එසේ තම අතීත ජීවන චාරිකාවේ මංසලකුණු පැවසූ නමුදු ඒ කලකිරීමෙන්, වේදනාවෙන්, පසුතැවීමෙන් නම් නොවේ. ඉහිරුණු කිරට හඬා වැටීම අරුත්සුන් දෙයක් බව ඇය අද අත්දැකීමෙන් තේරුම් ගෙන ඇත.

“අද නම් මම ලෝකේ පෙරළුණත් ගණන් ගන්නේ නෑ…”

“උදයන්තිට පාළුවක් තනිකමක් දැනෙන්නෙ නැද්ද?”

“මුලින් මුලින් දැනුණා. දැන් කොහෙත්ම නෑ. මම මගේ කලා කටයුතුවල නිරත වෙනවා. පවුලේ වැඩ කටයුතුවල නිරත වෙනවා. දවස ගෙවෙනවා දැනෙන්නේ නැහැ…”

“උදයන්ති එතකොට කවදාවත් විවාහ වෙන්නේ නැහැ…?”

“නුපුරුදු දීගයට වඩා සුපුරුදු තනිය හොඳා…” කියලා ගීයකුත් තියෙනවනේ. ඒක ඇත්ත මම හිතන්නේ. මට දැනට ‍හිතෙනවා විවාහ දිවියට වඩා තනිකඩ දිවිය නිදහස්, සැහැල්ලුයි, සැනසිලිදායකයි කියලා…

දිණමින

Leave a Reply