ඉල්ලීම් ලැබෙන තුරු දුම්රිය රියැදුරු-නියාමක අඛණ්ඩව වැඩ වරයි

තම ඉල්ලීම් වලට විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව වැඩවර්ජනය කිරීමට දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් තීරණය කර ඇත.

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

දුම්රිය රියැදුරු සහායකවරුන් බඳවාගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබේ.

අදාල ගැටලුව සම්බන්ධයෙන් ඊයේ දහවල් බලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වුණද ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණු බැවින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පී.එම්.පී. පීරිස් මහතා සඳහන් කළේය.

දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් වැඩවර්ජනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඊයේ පස්වරුවේ සිට කොළඹ කොටුවෙන් ධාවන කටයුතු ආරම්භ කරන දුම්රියන් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

දුම්රිය ගමන් වාර අවලංගු කිරීමත් සමඟ මගීන් කොටුව දුම්රිය ස්ථානයේදී නොසන්සුකාරී ලෙස හැසිරුණු අතර එය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවනු ලැබීය.

කෙසේවෙතත් හදීසියේ වැඩවර්ජනය කැඳවීමට හේතුව බලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා බව ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

වර්ජනය ක්‍රියාත්මක වුවද දුම්රිය ගමන් වාර කිහිපයක් අද(12) දිනයේ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය.