සංඝ සමාජය රකින්න කතිකාවත් පනත සම්මත කරන්න

make-money-468x60-2

ලංකාවේ පමණක් නොව ලෝකයෙහිද කීර්තියට පත්ව ඇති බෞද්ධ සංස්කෘතික උරුමයට හා බෞද්ධ හර පද්ධතියට. ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් නිසා දැඩි හානි සිදුවන නිසා සම්බුද්ධ ශාසනය සහ සංඝ සමාජය සුරක්ෂිත කිරීමට ඉවහල් වන කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනත ඉක්මනින් සම්මත කිරීමට පියවර ගන්නා ලෙස බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
එහි සම ‍ලේකම්වරුන් වන තිරිකුණාමලයේ ආනන්ද මහනාහිමි සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමිගේ අත්සනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යවා ඇති එම ලිපිය මෙසේය.
පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් පූජනීය දළදා වහන්සේ ඌරු දතකට සමාන කරමින්ද ලලාට ධාතුන් වහන්සේ සිප්පි කටුව යැයි කියමින්ද අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේට (මෙහි සඳහන් කළ නොහැකි ලෙස) නොයෙක් අපහාස වන අයුරින්ද කරන ලද ප්‍රකාශ (Facebook වැනි) සමාජ වබේ අඩවි මගින් දැන් බොහෝ දෙනා අතර ප්‍රචාරයට පත්ව ඇත. මෙය බෞද්ධ සමාජය අතිශයින්ම කනස්සල්ලට පත් කරන කරුණක් වී ඇත. ලංකාවේ පමණක් නෙව ලෝකයෙහි ද කීර්තියට පත්ව ඇති බෞද්ධ සංස්කෘතික උරුමයට හා බෞද්ධ හර පද්ධතියට මේ මගින් විශාල හානියක් සිදුවී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු.
අප රටේ සංඝ මූලස්ථානයක මහ නාහිමි නමකට කර ඇති නින්දනීය පහත් ප්‍රකාශ සංඝ සමාජයටම බලපවත්වන කරුණකි. එබැවින් අප රටේ රාජ්‍ය නායකයා ලෙසත් බෞද්ධ සමාජයේ ප්‍රධානියා හා ආරක්ෂකයා ලෙසත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය පිළිබඳ වගකීම් ප්‍රකාරව රහතන් වහන්සේ නමක් ලෙස නිර්ලජ්ජිව අශ්‍රාමණිකව පෙනී සිටින පිටිදූවේ සිරිධම්ම නමැති හිමි නම වෙනුවෙන් නීත්‍යනුකූලව පියවර ගෙන ඔහුගෙන් සම්බුද්ධ ශාසන විලෝපනයට වන ක්‍රියාදාමය වළක්වන ලෙස ශාසනාලයෙන් දන්වා සිටිමු.
මෙවැනි කරුණුවලදී පමණක් නොව සම්බුද්ධ ශාසනය හා සංඝ සමාජය සුරක්ෂිත කිරීමට ඉවහල් වන කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනත ඉක්මනින් සම්මත කිරීමට පියවර ගන්නා ලෙසද මේ සමග ශාසනාලයෙන් දන්වමු.

make-money-468x60-2