ශ්‍රී ලංකා පිතිකරුවෝ ගැලවීමක්‌ සොයති – ශ්‍රී ලංකා – ඉන්දියා තෙවැනි ටෙස්‌ට්‌ තරගය

make-money-468x60-2

ඉන්දියාව සමග දිල්ලි නුවරදී පැවැත්වෙන තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ පරාජයෙන් ගැලවීමේ සටනක නිරතව සිටින ශ්‍රී ලංකාව තරගයේ සිව්වැනි දිනට (05 දා) නවතා දමන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක්‌ දැවී ලකුණු 31 ක්‌ ලබා සිටියේය. අවසන් දිනය වන අද කඩුලු හත රැක ගැනීම හෝ ජයග්‍රහණයට තවත් ලකුණු 379 ක්‌ ලබා ගැනීමේ දැවැන්ත අභියෝගයක්‌ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ කරමත පැටවී තිබේ.

සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව (164) වාර්තා කර ගත් නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පළමු ඉනිම ඔසවා තැබීමට සමත් විය. පන්දු 361 කදී හතරේ පහර 21 ක්‌ සහ හයේ පහරක්‌ සමග අවසන් පිතිකරුවා සමග තවදුරටත් සටන ඉදිරියට ඇදගෙන යැමට චන්දිමාල් වෙහෙසුනද ඔහු ෂර්මාගේ පන්දුවක්‌ හමුවේ තර්ඩ් මෑන් ක්‍රීඩකයාට උඩපන්දුවක්‌දී දී දැවී යාමෙන් ඉන්දියානුවන්ට පළමු ඉනිමේදී ලකුණු 163 ක වාසියක්‌ ඉතිරි විය.

අංක එකේ ටෙස්‌ට්‌ තත්ත්වය තවදුරටත් ස්‌ථිර කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව 2-0 ක ජයක්‌ සොයා යන ඉන්දියානුවන් දෙවැනි ඉනිමේදී පන්දු ඕවරයකට දළ ලකුණු 4.70 ක වේගයෙන් ලකුණු ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 410 ක අභියෝගයක්‌ භාර කළේය. ඊයේ දිනය අවසන් වීමට පෙර යෑවූ අවසන් ඕවර 16 දී ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයකට තල්ලු කර දැමූ ඉන්දියානුවන් කරුණාරත්න, සමරවික්‍රම සහ සැඳෑ ආරක්‌ෂකයා වූ සුරංග ලක්‌මාල්ගේ ඉනිම නවතා දැමීමට සමත් විය.

scoreමෙම තරගාවලියේදී ද්විත්ව ශතක දෙකක්‌ සමග මුළු ලකුණු 610 ක්‌ ලබාගත් ඉන්දියානු නායක විරාට්‌ කෝලි තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලියක වැඩිම ලකුණු ලැබූ ලොව සිව්වැන්නා බවටද පත්විය. ඊයේ දිනයේදීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුකවාඩම් සහිතව පන්දු රැකීම විශේෂත්වයක්‌ වූ අතර අහිතකර වායූ දූෂණයට ඔරොත්තු නොදුන් සුරංග ලක්‌මාල් එක්‌වරක්‌ වමනය දමමින් ක්‍රීඩාගාරයට ගොස්‌ නැවත පැමිණීමද විශේෂත්වයකි.

make-money-468x60-2