දරුවන් වෙනුවෙන් වර්ජනය අත්හරින්නැයි ඇමති ඉල්ලයි-විශේෂ සාකච්ඡාව දවල් 12ට

make-money-468x60-2

දුම්රිය වර්ජනය විසඳීම සඳහා වෘත්තිය සමිති සමඟ අමාත්‍යාංශ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා දහවල් 12ට විශේෂ සාකච්ඡාවක් පැවැත් වීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රණාගාරයේදි මෙය පැවැත්වීමට නියමිත බව මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් වරයා මේ බව සඳහන් කර තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම යන මහත්වරුන් හා මෙම සාකච්ඡාවට වර්ජනයට අදාළ දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සමිති නායකයින්ට ද සහභාගී වන ලෙස මේ වන විට අමාත්‍යාංශය විසින් දන්වා ඇත.

මේ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෘත්තීය සමිති නායකයින් වෙත ඉල්ලීමක් කරමින් කියා සිටියේ දැනට ආරම්භ වී ඇති අ.පො.ස. (සා.පෙළ) විභාගයට සහභාගීවන සිසු දරුවන්ට වන අපහසුතාවය පිළිබදවවත් සලකා බලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අත්හරින ලෙසයි.

එමෙන්ම මෙම ප්‍රශ්නය සාකච්ඡා කොට විසඳා ගන්නා ලෙසද අමාත්‍යවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලා ඇත.

කෙසේ වෙතත් දුම්රිය පාලක මැදිරිය දන්වා සිටින පරිදි මේ වන විට පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන සියලු දුම්රිය සේවාවන් යථා පරිදි සිදු වනු ඇත.

make-money-468x60-2