බැඳුම්කරයේ ගිණුම්ගත වී නැති කෝටි 600 ගැන සොයන්න – ජානිපෙ

බැඳුම්කර  සිද්ධියේදී ගිණුම්ගතවී නොමැති රුපියල් කෝටි 600ක් සම්බන්ධව සෙවීමට විශේෂ විමර්ශනයක්. පැවැත්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණ ඊයේ(11දා) සඳහන් කළේය.

මහබැංකු බැඳුම්කර සිද්ධියේදී රජයට රුපියල් කෝටි 1100ක මූල්‍ය අලාභයක් සිදුව ඇතැයිද,පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම රුපියල් කෝටි 500ක ලාභයක් ලබා  ඇතැයිදබැඳුම්කර කොමිසම පවසන බව එම පක්ෂයේ ප්‍රචාරක  ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා කීවේය.

ඉතිරි රුපියල් කෝටි 600 ගැන සඳහන් නොවීමෙන් එම මුදල කිසියම් අයෙකු විසින් රඳවාගෙන ඇතැයි සැකකරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් දැක්වූ මුසම්මිල් මහතා,

“අපි විශ්වාස කරනවා මේ කෝටි 600සන්තෝසම්, වරප්‍රසාද, අල්ලස් වශයෙන් ලබා දී ඇතැයි කියා. ඒ ගැන විශේෂ විමර්ශනයක් සිදු විය යුතුයි. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ මගඩිය නීතිය, අධිකරණය ඉදිරියේ පමණක් විනිශ්චය වියයුතු දෙයක් නොවෙයි කියා. මේ මූල්‍ය වංචාව නිසා කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වගේ කර්මාන්ත ශාලා 03ක් ඉදිකිරීමට තිබූ මුදලක් අපතේ ගියා. ඒ වගේම තරුණ තරුණියන් 50,000කට රැකියා ලබාදීමට තිබූ මුදලක් තමයි මේ විදියට විනාශ කළේ. ලක්‍ෂ්මන් යාපා අබේගුණවර්ධන අමාත්‍යවරයා පැවසූ අන්දමට මෙමගින් සිදු වූ සමස්ත අලාභය රුපියල් ට්‍රිලියනයක්. රුපියල් ට්‍රිලියනයක් කියන්නේ මේ රටේ වෙරළ තීරය වටා රුපියල් 5000 කොළවලින් සරසන්න පුළුවන් මුදලක්* යනුවෙන් පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා,

“අපේ රටේ ආර්ථිකයට ඉතාමත් අහිතකර බලපෑමක් සිදු කළ කාලය තමයි මේ %‘යහපාලනයේ’ ගෙවීගිය වසර තුන. අද ආර්ථිකයේ කඩාවැටීම කොතරම්ද කියනවා නම්, අද ජනතාවට හාල් නැව, පොල් නැව, තෙල් නැව, විතරක් නෙවෙයි පොහොර නැවත් එනතුරු බලා ඉන්න වෙලා තියෙනවා. ඒ වගේම ලංකා ඉතිහාසයේ බරපතළම මූල්‍ය වංචාව වූ බැඳුම්කර වංචාව සිදු වූයේ මේ ‘%යහපාලකයන්’ බලයට පත් වී දින 100ක් ගෙවෙන්නත් කලින්. මේ බැඳුම්කර මගඩිය සිදුවුණේ රනිල් වික්‍රමසිංහ, ආර්. සම්බන්ධන්, අනුර දිසානායක, මනෝ ගනේෂන් ඇතුළු මේ %රටට හතුරු හවුල ‘ජාතික සභාව’ නමින් ව්‍යුහයක් හදාගෙන රට පාලනය කරමින් සිටියදී බව අමතක කරන්න එපා. අද මොන තරම් සුදනෝ වෙන්න හැදුවත් අනුර දිසානායකලා රනිල් වික‍්‍රමසිංහ සමග එකතුව රට පාලනය කිරීමේ තීන්දු තීරණ ගත්තු දින 100 තුළ තමයි මේ මහා මූල්‍ය වංචාව සිදු වුණේ.

මේ මූල්‍ය වංචාවෙන් රටට සිදු වූ පාඩුව ගණනය කරන්නට බැහැ. නමුත් ජනාධිපතිවරයා බැඳුම්කර වාර්තාව ඇසුරෙන් කළ කරුණු දැක්වීමේදී පැවසූ අන්දමට රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 11,145යි, රුපියල් කෝටි 1114.5යි, රුපියල් බිලියන 11.145යි. නමුත් මේ මගඩියෙන් පස්සෙ අපේ රටේ ණය පොලී අනුපාතය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ වගේම ‘මහ බැංකුව කොල්ලකෑවා’ කියන කතාවත් සමග ආයෝජකයන් සිය මුදල් ආපසු රැගෙන යනවා. විදෙස් සංචිත පහළ බහිනවා. ඩොලරය රුපියලට සාපේක්ෂව ඉතිහාසයේ වැඩිම ඉහළ යෑමට ලක්වෙනවා. අද ඩොලරයට අපි රුපියල් 155ක් ගෙවන්න  ඕන. ඒ නිසා රටේ විදේශ ණය ප්‍රමාණය ඉතා ඉහළ යනවා. කණකර උකස් කළ දුප්පතාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා මේ මගඩියේ ගොදුරු බවට පත්වෙනවා. මුළුමහත් සමාජයම පත් වූ ආර්ථික ගැටලු දෙස බැලීමේදී රටට සිදු වූ සමස්ත අලාභය ගණනය කළ නොහැකි තරම්ය. රජයට සිදු වූ මූල්‍ය අලාභය පමණයි බැඳුම්කර කොමිෂන් වාර්තාවේ සඳහන් මිලියන 11,145ක් කියන්නේ. මේ ගනුදෙනුව වසර 30ක් පුරා ඇදී යනවා. එවිට රටට මොන තරම් හානියක් සිදු වේවිද? සමස්ත ලාංකේය සමාජයට සිදු වූ එම හානිය ට්‍රිලියන, බිලියනවලින් ගණනය කරන්න බැහැ. ඒ නිසා මේ මගඩියේ වගඋත්තරකරුවන්ට කඩිනමින් නීතිය මගින් දඬුවම් දිය යුතුයි* යනුවෙන් පවසා සිටියේය.