‘විදුහල්පතිනිය දණ ගැස්වූ කථාව බොරුවක්‘ – ඌව මහ ඇමැති

make-money-468x60-2

බදුල්ලේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක විදුහල්පතිනිය සිය නිල නිවසට කැඳවා දණ ගැස්සූ බවට විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය. වන පුවත සම්පූර්ණ අසත්‍ය බවත් එවැනි සිදුවීමක් වී නම් තමාට විරුද්ධව අදාළ විදුහල්පතිනියට අධිකරණයට හෝ මානව හිමිකම් කොමිසමට යෑමට හැකි බවත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ(11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

‘‘අදාළ විදුහල්පතිනිය හින්දු ආගම මුල්කරගෙන අනිත් ආගම්වලට සලකන්නේ නැහැ කියා මුස්ලිම් ජාතික දෙමාපියන් දෙදෙනෙක් මට පැමිණිලි කළා. පසුව මම විදුහල්පතිනිය නිල නිවසට කැඳෙව්වා. එහි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් හිටියා. අදාළ පැමිණිල්ල කළ දෙමාපියන්ද කැඳවා ජාතීන් අතර ප්‍රශ්නයක් ඇති නොවන පරිදි මේ ගැටලුව සුහදව විසඳුවා. නමුත් මෙය විකෘති කරලා මැතිවරණ වේදිකාවල මට මඩ ගහන්න ප්‍රචාරය කරනවා‘‘ යැයි මහ ඇමැතිවරයා කීය.

තමාට එරෙහිව බොරු චෝදනා එල්ල කරන ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහතාට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවද මහ ඇමැති කියා සිටියේය.

අදාළ විදුහල්පතිනිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ තමා දණ ගැස්වූ බව කියන කථාව සම්පූර්ණ අසත්‍යයක් බවයි. අධ්‍යාපන බලධාරීන් ඇතුළු පිරිස සමග මහ ඇමැතිවරයාගේ නිල නිවසේදී අදාළ ගැටලුව සුහදව විසඳාගත් බවද ඇය කියා සිටියාය. ඇතැමුන් විවිධ වාසි තකා මැතිවරණ වේදිකාවල මෙවැනි අසත්‍ය ප්‍රචාරය කරන බවද විදුහල්පතිනිය ප්‍රකාශ කළාය.

make-money-468x60-2