මහින්ද පැරදුණේ යුද්ධයෙන් පසු සුළු ජනකොටස්වල හදවත් දිනා නොගත් නිසයි

යුද්ධයෙන් පසු දමිළ ජනතාවගේ හා මුස්ලිම් ජනතාවගේ හදවත් දිනාගැනීමේ වැඩපිළිවෙළක් සකස් නොකිරීම. හේතුවත් මහින්ද රාජපක්ෂ මහතාට පරාජය හිමි වූ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

නාත්තන්ඩිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම් අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් වූ පසු එතුමා කල්පනා කෙරුවා උතුරේ පාරවල් හදල, පාසල් හදල, භෞතික සංවර්ධනයක් කෙරුවාම ඡන්දය දෙයි කියලා. හැබැයි දෙමළ ජනතාව විනාශ කරලා තමන්ගේ ජාතිය විනාශ කරලා කියන සිතේ ඇති වූ වෛරය තුරන් කරලා හදවත් හදන්න පුළුවන් වැඩපිළිවෙළක් නිර්මාණය කළේ නෑ. ඒ වගේම තමා මුස්ලිම් ජනතාව මුහුණ පෑ අලුත්ගම වගේ සිද්ධීන්ට නිසි පරිදි තීරණයක් ගත්තෙ නෑ. ඒ වගේ ප්‍රතිඵල තමයි අද එතුමා අත්විඳින්නෙ.

රාජ්‍ය සේවකයින් එතුමා ප්‍රතික්ෂේප කළා. රැකී රක්ෂා දුන්නා. යතුරු පැදි ඇතුළු වරප්‍රසාද රාශියක් ලබා දුන්නා. නමුත් ඔහුව ප්‍රතික්ෂේප කළා. මට මතකයි අද අපගේ මාලිගාවත්ත පිට්ටනියේ රාජ්‍ය සේවකයින්ට මෝටර් සයිකල් බෙදලා අවසන් වූ වෙලාවෙ වුණ සිදුවීම. මම ඒ සෑම බයිසිකලයකම මහින්දගෙ රුව සහිත ස්ටිකර් එකක් ඇලෙව්වා. ඒ වෙලාවෙ බයිසිකල් හත්දාහක් බෙදුවා. අවසානයේ මම රැස්වීම ඉවරවෙලා පිට්ටනියෙන් එළියට එද්දි අර අලවල තිබුන ඡායාරූපය සහිත ස්ටිකර් සියල්ලම ඉරල විසි කරලා පිට්ටනිය එළියේ තිබුණා.

ඒකාබද්ධය අද අපිට කියනවා යූ ඇන් පී එක්ක එකට එකතුවෙනවා කියලා. අපේ පක්ෂය පිරිසුදු පක්ෂයක් විදිහට හදන්න ඕන. බැඳුම්කර කොමිසම දානකොට ජනාධිපතිතුමාට කිව්වා එය කරන එකක් නෙවෙයි කියලා. බැඳුම්කර කොමිසමේ රිපෝට් එක දෙනකොට කිව්වා එයත් ජනාධිපති කරන්නද කියලා. නමුත් මතක තියාගන්න එතුමා කිව්වා මගේ කඩුවෙන් කවුරු කැපෙයිද දන්නෑ කියලා ඥාතීන් මිත්‍රයින් පාක්ෂිකයින් විපක්ෂයේ අය කැපෙන්න පුළුවන් කියලා එදා කිව්වා. අද ඒක තමයි කරලා තියෙන්නෙ. පරණ ඒවා තිස්හතරයි. අලුත් ලොකු එකයි ඔක්කොම එකතු කරලා තීන්දුවක් ගන්න තමයි දාල තියෙන්නෙ. දෙකෙන්ම දෙගොල්ලොම කැපිලා යයි. කවුරු කැපෙයි ද කියලා අපි දන්නේ නෑ. රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව ක්‍රියාත්මක වෙයි. අපට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොරකමෙන් තොර පක්ෂයක් බවට පත් කරන්න ඕන.

අද ප්‍රසන්න රණතුංග මහත්තයා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන්න ඡන්දය දෙන්න කියලා. එයා දන්නේ නෑ මේක ප්‍රාදේශීය සභා මැතිවරණයක් කියලා. ඇයි දෙයියනේ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් කොහොමද අගමැති කරන්නේ. ඒක තමා කියන්නේ ඇ‍ඟේ මාළු ගොඩක් තිබ්බට එතුමාට ඔළුවක් නෑ කියලා.

මම හොඳින්ම දන්නවා වයඹ හිටපු මහ ඇමැති විදිහට බහුතර බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගන්නව කියලා. නාත්තන්ඩිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක දයාශ්‍රිත තිසේරා මහතා මේ හමුව සංවිධාන කළේය.