දූෂණයට එරෙහි ජවය කියලා කියන්න පුළුවන් අපිට විතරයි

දැන් මේ රටේ පක්ෂ ගොඩක් තියෙනවා.අලියා ඉන්නවා. අත කෑල්ලක් තියෙනවා.මල් කෑල්ලක් තියෙනවා. හැබැයි ඔය පක්ෂවලට බෙදිලා හිටියත් සේරම එකම වල්ලෙ පොල්. මේ ගොල්ලන්ගේ වැඩවල වෙනසක් තියෙනවද මට කියන්න. මේ මිනිස්සුන්ගෙ ලිංග භේදය ඇරෙන්න වෙන කිසිම වෙනසක් නෑ.වෙනස්කමකට ඇත්තෙ එච්චරමයැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ජවිපෙන් කන්තලේ ප්‍රාදේශීය සභාවට තරග කරන ප්‍රා.ස.අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජයග්‍රහණය උදෙසා කන්තලේ 91 ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඒ මහතා මෙසේද පැවසීය.

පසුගිය කාලේ රාජපක්ෂ පාලන සමයේ තිබිච්ච බරපතළ දූෂණ පිළිබඳ වාර්තාව ඇවිල්ලා තියෙනවා. හොයන්න ඕනෑ දැන් .ඒ ගොල්ලො කියන්නේ මෙන්න එකම හොරකම ඉතිහාසෙ සිද්ධ වෙච්ච කියලා. තව තියෙනවා, අධිවේගී මාර්ගවලින් ගහපුවා තියෙනවා. මාළිගා හදාපුවා තියෙනවා. මිහින් ලංකා එයාර් ලංකා ගනුදෙනු .තියෙනවා. ඒක නිසා ඔය කාටවත් කුණු නැහැ කියන්න බැහැ. දූෂණයට එරෙහි ජවය කියලා කියන්න පුළුවන් අපිට විතරයි. පැති ගොඩක් නැහැ.හොරකම සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්ති එකයි.ඒකයි අපි ඔබට කියන්නේ කන්තලේ ප්‍රාදේශීය සභාව අපිට දෙන්න . අපි මේක හදනවා හදනවා කියන එක. ඒ ගොල්ලෝ කරන දේ අපි කරන්නේ නැහැ.මොකක්ද ? හොරකම . කන්තලේ ප්‍රාදේශීය සභාවේ ආදායම කෝටියක්වත් ඇති දැන් ඒ ආදායමෙන් මොනවද කරලා තියෙන්නේ. ප්‍රාදේශීය සභාවේ පෙර පාසලක්වත් තියෙනවාද. ප්‍රාදේශීය සභාවේ පුස්තකාලයක්වත් තියෙනවාද?පුස්තකාලෙ ඉන්නේ වැඩිපුර මකුණෝ නේද? පොතක් කියවන්න බැහැ. කනත්ත, කනත්තේ මිනී භාගෙට පිච්චෙනවා.ප්‍රාදේශීය සභාවේ පාරවල් ,රුවන්වැලිසෑයේ තීන්ත ගානවා වගේ .කොයි වෙලාවේ බැලුවත් ගානවා. ඇයි ඔය ප්‍රාදේශීය සභාවේ පාර එක පාරෙන් හදන්න බැරි.ප්‍රාදේශීය සභාව තියෙන්නේ අවුරුදු හතරයි. අවුරුදු හතරෙන් කැඩෙන්න තමයි පාර හදන්නේ. දැන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ගේ පඩිය කීයද .රුපියල් අටදාහයි.අවුරුදු දෙකකින් ඩබල් කැබ් එකක් ගන්න පුළුවන්ද අටදාහෙන්. හුඟක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් එනකොට එන්නේ රෝද දෙකෙන්. යනකොට ටිපර් තියෙනවා.ගල්කොරි තියෙනවා. රුපියල් අටදාහෙන් ඔච්චර ගන්න පුළුවන් ද ? කොහොමද ගන්නේ . හොරකම් කරලා .ජනතා විමුක්ති පෙරමුණේ අපි හැරෙන්න ඔය හැමෝම කොන්ත්‍රාත් කරනවා. තමන් කොන්ත්‍රාත් කරන්නේ නැත්නම් තමන්ගේ නෑදෑයෙක් හරි ඉන්නවා කොන්ත්‍රාත් කරන අය.

දැන් පාර්ලිමේන්තුවේ වංචා නවත්වන්න හදන්න එපා. පාර්ලිමේන්තුවේ ඉන්නේ මහ දවල් බැංකු කොල්ල කාපු සිද්ධියේ ෆුට් නෝට් දාපු කට්ටිය. ඒකෙනුත් ගහපු කට්ටිය ඉන්නේ. හැබැයි අපි වංචාව ගමෙන් නවත්වමු.ඒ සඳහා එක්සත් ජාතික පාක්ෂිකයෝ වෙනස් වෙන්න ඕනෑ.පාරක් හදලා පෙන්වනවා වෙනස් නොවෙන්න.අපි හැමදාම ඡන්දය ඉල්ලනවා එතකොට. ඔයගොල්ලො කේන්දරය බලනවා .අසූ අට අසූ නවය මොකද වුණේ.හැත්තෑ හතේ මොකද වුණේ.අද ඊයේ බඩු මිල වැඩි කරනවා , පොහොර නැහැ, කන්න නැහැ, ඒවා හොයන්නේ නැහැ. හොරකම් කරනවා. මහ දවල් . ඒවා හොයන්නේ නැහැ.ඔය ගොල්ලන්ට ඉංග්‍රීසි පුළුවන්ද අහනවා.මේ පාර අපි ඉල්ලන්නේ. දැන් මහා ආණ්ඩුවේ කට්ටිය ඇවිල්ලා කියනවා මහ ආණ්ඩුව තියෙන්නේ අපේ අතේ . හැන්ද අපේ අතේ. වැඩක් කරගන්න ඕනෑ නම් ප්‍රාදේශීය සභාවත් අපිට දෙන්නලු. මෙච්චර කාලයක් තිබිලා මොනවද කළේ. අපි මහා ආණ්ඩුවේ නෙවෙයි තිස්සමහරාමය හැදුවේ අපි. හදන්න පුළුවන් නිසා විශ්වාසයෙන් කියන්නේ. මේ පියරත්න සහෝදරයා දේශපාලනය තෝරා ගත්තේ ගමට ආදරේට.අපි පක්ෂයක් හැටියට ලැබෙන පඩියත් නොගෙන තමයි වැඩ කරන්නේ.තමන්ගේ පඩිය ඒ කොට්ඨාසයටම යොදවනවා කියලා අපි පොරොන්දු වී තියෙනවා.කයිවාරුව කට නෙවෙයි මේ කියන්නේ. දැන් පොහොට්ටුවෙ මහත්වරු ඇවිල්ලා මොකද කියන්නේ . හොරකම් කරන්නේ නැහැ. නාස්ති කරන්නේ නැහැ. දූෂණය කරන්නේ නැහැ. පගාව ගන්නේ නැහැ.කියලා කියන්න බැහැ.ඒ ගොල්ලෝ ඇවිල්ලා කියන්නේ එක කතාවයි. මේක පුංචි ඡන්දයක් කියලා හිතන්න එපා. මේ ඡන්දයෙන් රට බෙදනවා බෙදන එක වලක්වා ගන්න අපිට දෙන්න කියලා. මහා මැතිවරණයේදී කිව්වා මහින්ද මහත්තයා විදුලි පුටුවට ගෙනියනවා කියලා ගෙනිච්චෙ නැහැ නේද .තමුන්නාන්සේලා අවුරුදු ගානක්ම ඡන්දය දුන්නට ඔය පක්ෂවල ප්‍රතිපත්තිවල වෙනසක් තියෙනවාද? නැහැ. ඔය පක්ෂ ඔක්කොම එකයි. දැන් අපූරු කතාවක් කියනවා මේ දවස්වල. අපි බෙදුනට පස්සේ යා වෙනවා කියලා.