තාරවත්තේ ගැටලු විසඳන්න සජිත්, රෝසි, දුමින්ද සංචාරයක

කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙසේ තාරවත්ත ප්‍රදේශයේ පදිංචි අඩුපහසුකම් සහිතව ජීවත් වන ජනතාව මුහුණ දෙන. ගැටලු පිළිබඳ සොයා බැලීම සහ ඒ සඳහා විසඳුම් ලබාදීම පිළිබඳ සාකච්ඡාවක නිරතවීමට නිවාස හා ඉදිරිකිරීම් කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක සහ එක්සත් ජාතික පක්ෂ කුරුඳුවත්ත ආසන සංවිධායක දුමින්ද ආටිගල මහතා විසිනි.
ජනහමුවේදී අදහස් දක්වමින් දුමින්ද ආටිගල මහතා කියා සිටියේ තාරවත්ත ප්‍රදේශයේ ප්‍රජාව මුහුණදෙන නිවාස, සෞඛ්‍ය සහ ළමා අධ්‍යාපනය පිළිබඳ ගැටලු විසඳීම සඳහා සජිත් ප්‍රේමදාස අමත්‍යවරයා ඇතුළු සැම දෙනාම සිය නොමඳ සහාය අඛණ්ඩව ලබාදෙන බවයි.

මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පැවැසුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන දුමින්ද ආටිගල මහතා උගත්, බුද්ධිමත්, තාරුණ්‍යයේ ජවයෙන් යුතු පුද්ගලයකු සේම, දේශපාලන හා සමාජ සේවා කටයුතු වෙනුවෙන් ඔහු සිය කාලය වැය කරමින් කරනු ලබන කැපවීම ඉතා ප්‍රශංසනීය බවයි. පවතින ගැටලුවලට සථිරසාර කඩිනම් විසඳුම් සොයා බලා ඒවා කඩිනමින් විසඳීමට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පියවර ගැනීමටද තමන් කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ බලමුළුව කිසිවකු පරාජය කළ නොහැකි බවත් රටට අවශ්‍යව ඇත්තේ දුමින්ද ආටිගල වැනි නායකයෙක් බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තාරවත්ත ජනතාවගේ සහාය මුළුමනින්ම ඔහු වෙත ලබාදෙන්නැයි ද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

තාරවත්ත ප්‍රදේශවාසීන් විසින් නිවාස හා ඉදිකිරීම් කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂ කුරුඳුවත්ත කොට්ඨාසයේ කොළඹ මහ නගර සභා අපේක්ෂක දුමින්ද ආටිගල යන මහත්වරුන් පිළිගන්නා ආකාරයත්, නිවාස හා ඉදිකිරීම් කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය කුරුඳුවත්ත කොට්ඨාසයේ ජනහමුවට එක්ව සිටි අයුරුත් ඡායාරූපයන්හි දැක්වේ.