සමන්ත විද්‍යාරත්නගෙන් මිලියන 500 ක වන්දි ඉල්ලා ප්‍රධාන ඇමති නඩුමගට

make-money-468x60-2

විදුහල්පතිනියක දණ ගැස්වූ බවට ඌව පළාත් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා. සිදුකළ ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට හානි සිදුවු බව පවසමින් අධිකරණය හමුවේ නඩු පැවරීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා තීරණය කර තිබේ.

රුපියල් මිලියන 500 ක වන්දි ඉල්ලා සමන්ත විද්‍යාරත්න මහතාට එරෙහිව බදුල්ල දිසා අධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා බව ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.

බදුල්ල ප්‍රදේශයේ පාසලකට සිසුවෙකු ඇතුලත් කර ගැනීම සඳහා පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් මත කටයුතු නොකිරීම හේතුවෙන් එම පාසලේ විදුහල්පතිනිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් සිය කාර්යාලයට කැඳවා දණ ගස්වා ඇති බවට සමන්ත විද්‍යාරත්න මහතා පසුගියදා චෝදනා කළේය.

කෙසේවෙතත් එම ප්‍රකාශය අසත්‍ය බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා කියා සිටියේය.

අදාල ප්‍රකාශය හේතුවෙන් තමාට මෙන්ම තම පවුලටද අපකීර්තියක් ඇතිවූ බව පවසන ප්‍රධාන අමාත්‍යවරයා එය තම මැතිවරණ සංවිධාන කටයුතුවලටද විශාල හානියක් වූ බව පෙන්වා දෙයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරීමට ප්‍රධාන අමාත්‍යවරයා තීරණය කර ඇති අතර ඊට අදාලව බදුල්ල පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ පිටපතක් ලබා ගැනීමට ඔහු අද (14) පෙරවරුවේ පොලිස් අධිකාරී කාර්යාලය වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

make-money-468x60-2