සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම පරිදි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා. 2018 ජනවාරි මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.

සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ජනවාරි 23 වැනි දින උදෑසන නිල හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගනු ලබන අතර ඉන් අනතුරුව ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි. ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීමට නියමිතව ඇත.

මෙම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇත. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව යන දෙරටේම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් සහභාගීවන ව්‍යාපාරික සංසදයකට සහභාගී වීමටද නියමිතය.

සිංගප්පූරු අගමැතිවරයකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලෙනුයේ වසර දහතුනකට පසුවය.